0 Items - £0.00
0
  • No products in the cart.

තිරසාර සංවර්ධනය හා පැවැත්ම

තිරසාර සංවර්ධනය හා පැවැත්ම

තිරසාර සංවර්ධනය හා පැවැත්ම

රට ජාතිය රැකීම පිළිබඳව විශේෂයෙන් උනන්දුවක් ඇතිවී තිබෙන මේ කාලයේ රට සහ ජාතිය රැකිය යුත්තේ කෙසේද? යන්න අප වටහා ගෙන සිටින්නේ නිවැරැදි ආකාරයටදැයි අප නැවත සිතා බැලිය යුතු ය. අප රටේ ජාතියේ පැවැත්ම යනු, අපගේ අනාගත පරම්පරාවන්ට ශක්තිමත්ව ජීවත් වීමට රටක් ඉතිරි කර දීම ය. අපේ ජාතියට පැවැත්මක් තහවුරු කිරීමට නම්, අප රටේ සංවර්ධනය තිරසාර කර ගත යුතු ය. එය ලෝකය තුළ ශක්තිමත්ව පවතින අයුරින් නිර්මාණය කළ යුතු ය. එබැවින්, රටේ තිරසාර පැවැත්ම තහවුරු කරවන සංවර්ධනයක් වෙනුවෙන් ප්‍රධාන පැති 3ක් ආවරණය කළ යුතු වෙයි.

  1. ජාතික සමගිය ඇති කිරීම
  2. ආර්ථික සංවර්ධනය උදා කර ගැනීම
  3. පරිසරය සංරක්ෂණය කර ගැනීම
  4. මත්ද්‍රව්‍ය භාවිතය අවම කර ගැනීම

ලෝකය පුරා ජාතිකවාදය මුල් කර ගත් දෙශපාලන දහරාවක් ගලා යන මේ යුගයේ එහි දෙයාකාරයක් හඳුනා ගත හැකි ය. ඉන් එක් ආකාරයක් නම්, වෙනත් රටවලින් සිය රට ආරක්ෂා කර ගැනීම සඳහා වන ජාතික ව්‍යාපාර ය. අනෙක් ආකාරය නම්, යම් රටක් තුළ සිටින බහුතර ජාතිය අනෙකුත් සුළු ජාතීන්ගෙන් රැකිය යුතු යැයි ඇතිවන ජාතිකවාදය යි. අප රට තුළ දැකිය හැක්කේ ද බොහෝ විට මෙම දෙවන ආකාරයේ ජාතිකවාදය යි. රට අභ්‍යන්තරයේ ඇති වූ LTTE යේ දශක තුනක යුද්ධය ද, ඉන් අනතුරුව රට තුළ වූ මුස්ලිම්-බෞද්ධ ගැටුම් ද, අවසාන වශයෙන් වසර 2019දී සිදු වූ පාස්කු ප්‍රහාරය ද මේ බෙදී යාම වඩාත් තීව්‍ර කළේ ය. රට තුළ වූ මේ මූලික ජාතීන් වර්ග තුන, තුන් කඩකට බෙදී යෑම රට අභ්‍යන්තරයෙන් අර්බුද රැසකට තල්ලු කර ඇතත්, මේ බෙදී ගිය දේශය එක්සේසත් වන මං සලකුණක් හෝ තවමත් දක්නට නොලැබෙයි. අප රට තුළ බෙදී එක් එක් ජාතියක් ලෙස රැකීමට උත්සාහ කිරීම තුළ අප සියල්ලන් ශ්‍රී ලාංකීය ජාතිය අනතුරේ හෙළන බව කාටත් නොපෙනීම කනගාටුවට කරුණකි.

මේ අනවබෝධයන් දුරු කර, රට තුළ ඇති සියලුම ජන කොටස් එකා මෙන් ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය කරනු පිණිස සමගි කර ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.

මා හරිත දේශපාලනයේ මූලික සංකල්පයක් ලෙස විවිධත්වය අගය කිරීම දැක්වීමට කැමැත්තෙමි. මෙහිදී විවිධත්වය යනු විවිධ ජන කොටස් අතර ඇති විවිධත්වය ඉවසීම ය. ජාතියෙන්, ආගමෙන්, සංස්කෘතියෙන්, විශ්වාස වලින්, භූමියෙන්, ලිංගිකත්වයෙන්, ආර්ථික මට්ටමෙන්, දැන උගත් කමින්, රැකියාවෙන් ආදී විවිධ ප්‍රභේද වලට බෙදී සිටින සියලුම පුරවැසියන් සතු විවිධත්වයන් එකිනෙකා විසින් ගරුකොට ඉවසා සිටින, ඒ විවිධත්වය හමුවේ සිය අනන්‍යතාව ආරක්ෂා කර ගෙන, සැමට සමානව සලකන සමාජ ක්‍රමයක්  නිර්මාණය කර ගැනීම මින් කියැවෙයි. රටක් තුළ සියලුම ජන කොටස් එකතු කර සමාදාන කර සතුටින් ජීවත් වීමට හැක්කේ, ඒ රට තුළ විවිධත්වය අගය කිරීම හා ඒ විවිධ වූ මිනිස්සුන්ට සමානාත්මතාවයෙන් සලකන සමාජ ක්‍රමයත් තිබේ නම් පමණකි.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ උරුමය අනාගතට රකින ගමන්, ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රාජ්‍යයක් යැයි පිළිගන්නා ගමන්, මෙරට ජීවත් වන සියලුම ජන කොටස්වලට ඔවුනගේ ජාතියට ආගමට අදාලව සිය මුතුන්මිත්තන් විසින් ගෙන ආ සංස්කෘතික දායාදය රැක ගෙන අභිමානයෙන් ශ්‍රී ලංකාව තුළ ජීවත් වීමට අවකාශ සැලසිය යුතු ය. එසේ ජීවත් වන සාමකාමී පොදු අවකාශය රැක ගැනීමට රජය මැදිහත් විය යුතු ය. මෙහිදී ආගමික හා සංස්කෘතික අවකාශය නියාමනය කිරීමත්, ඒ ඒ ආගම ඇදහීමට හෝ සංස්කෘතිය අනුව ජීවත් වීමටත් පුද්ගලයාට ඇති අයිතිය ආරක්ෂා කරන ගමන්, ඒ ඒ ආගමික හෝ සංස්කෘතික ඇදහිලි විශ්වාස වලින් පොදු මහජන  අවකාශය පිරවීමට නොදී එය නියාමනය කර ගැනීමත් රාජ්‍ය වගකීම විය යුතු ය. මෙහිදී පුද්ගලයාගේ පුද්ගල නිදහස ද, සමාජයේ සාමුහික පැවැත්ම ද අතර සියුම් සමතුලිත භාවය රැකීමට පාලකයන් දක්ෂයෝ විය යුතු ය.

රට අභ්‍යන්තරය ඇතුළත අපි එකිනෙකාට බෙදී වෙන්වීමෙන්, මානසිකව සැකයෙන් බියෙන් ජීවත් වන සමාජයක් ජීවත් වීමට සුදුසු නොවේ. එවන් ජාතියක් ආර්ථික සංවර්ධනයේ හිණි පෙත්තට ළඟා කර ගත නොහැකි ය. අප සතු ශක්තීන් හා ජවයන් ලෝක ආර්ථිකය දිනන දිශානතීනට ඉලක්ක ගත කිරීමට අභ්‍යන්තරයේන් කඩා වැටුණු තුවාල සහිත ජාතියකට නොහැකි ය. ඒ තුවාල තව තව පෑරෙන, අවිශ්වාසය ගොඩනැගෙන සමාජයක් සමෘද්ධිමත් කර ගැනීම කළ නොහැකි ය. එබැවින් අප පෙන්වා දුන් ඒ ආර්ථික සංවර්ධනය උදා කර ගැනීම උදෙසා ශ්‍රී ලාංකීය ජාතිය මෙහෙයවා ගැනීමට නම් අප මේ තුවාල සුව කරගෙන එකීයව සමගිව නැගී සිටිය යුතු වෙයි. එබැවින්, රටේ තිරසාර පැවැත්ම තහවුරු කරවන මුල්ම සාධකය ලෙස ජාතික සමගිය රැක ගැනීම අප මූලික අවශ්‍යතාවයක් සේ දකිමු; ඒ වෙනුවෙන් පෙනී සිටිමු.

රටේ පැවැත්ම තහවුරු කරන අනෙක් ප්‍රධාන සාධකය නම් ආර්ථික දියුණුව යි. එය මෙසේ පැහැදිලි කරන්නම්.

අප වර්තමානය වන විට ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් හමුවේ දුර්වල රාජ්‍යයකි. එයට මූලිකවම හේතු වී ඇත්තේ අපගේ ආර්ථික දුර්වලතාවයයි. රටේ වියදම් පියවා ගැනීමට තරම් ආදායමක් නොමැති නිසාම අප රට වසරින් වසර ලෝකයෙන් ණය ගනිමින්, ණය මත යැපෙන ආර්ථිකයකට හුරු වී සිටී. ණය යනු කෙටි කාලීනව රටක මූල්‍ය කළමනාකරණය වෙනුවෙන් යොදා ගත හැකි උදව්වක් වූවත්, එය දීර්ඝකාලීනව සෞභාග්‍යය උදා නොකරයි. එහෙයින් ණය මත යැපීම යනු යම් දිනෙක අප උගුලක හිරවෙන ආර්ථික ක්‍රියාවලියකි. දැන් බොහෝ කලෙක පටන් අය වැය හිඟය පියවා ගැනීමට ණය මත රඳා පැවතීමට අපට සිදුව තිබීම, රටේ ස්වෛරීත්වයට බලවත් තර්ජනයකි. ලෝක බලවතුන් හමුවේ හිස නමා ගෙන සිටීමටත්, ඔවුනගේ ඕනෑ එපා කම් වලට මේ රට යොදා ගැනීමට දී පැත්තකට වී සිටීමටත් අපට සිදුවෙයි.

ඇත්තෙන්ම මෙය යම් ආකාරයක අධිරාජ්‍යයකට නතු වීමකි. වසර 1605 පටන්, 1948 දක්වා ආසන්නව වසර 450ක් විදේශ රටවලට යටත්ව සිටි අපට නිදහස ලැබී ගත වී ඇත්තේ තවමත් වසර 72ක් පමණි. එහෙත් අපගේ වර්තමාන පරම්පරාව එම රට නැවතත් විදේශ රටවලට බලපෑමට යටත් කරවනසුලු දුර්වල තත්ත්වයට ඇද ගෙන ඇවිත් ඇත. ඒ වසර 450ක් අප යටත් වූයේ තුවක්කුවේ හෝ යුද බලයට වුවත් අප මෙවර යටත් වන්නේ මුදලේ බලයට ය. ඒ, නන් දෙසින් ගලා එන විදෙස් ණයවලට සින්න වීම ඔස්සේ ය. මේ අනතුර රටක් ජාතියක් ලෙස අප සැම අනතුරේ හෙළයි. එනම්, අප අපගේ ස්වෛරීත්වය හා නිදහස පවා දී මේ රට ලොව තවත් රටක් වෙත නතු කර දීමට ආසන්නයේ ඇත. මෙය ජාතියක් ලෙස අපගේ පැවැත්ම අනතුරේ හෙළන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එබැවින්, මෙම ණය උගුලෙන් ගැලවීමට නම්, එකම විසඳුම විය යුත්තේ රට ආර්ථික සංවර්ධනය කරා රැගෙන යාම පමණකි. ආර්ථිකව ස්ථාවර, ණය බර සමනය කර ගත් රාජ්‍යයක් වීමෙන් මිස මේ රටේ සුවබර පැවැත්ම අනාගතයේදී තහවුරු කළ හැකි නොවේ. එබැවින් රටේ තිරසාර පැවැත්ම තහවුරු කර ගැනීමට ආර්ථික සංවර්ධනය අත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

රටේ ජාතියේ පැවැත්ම තහවුරු කරන අනෙක් ප්‍රධාන සාධකය නම්, පරිසරයේ ස්ථාවර පැවැත්මයි. අප මිනිසුන් ලෙස තේරුම් ගත යුතු මූලික සංකල්පයක් නම්, මේ රට යන පරිසරය මත අපගේ ශ්‍රී ලාංකීය ජාතිය පිහිටුවා ඇති බවයි. එම ජාතිය පිහිටුවා ඇති මේ භූමියේ ස්වාභාවික පරිසරයෙන් අප ජාතියට හුස්ම ද, ජලය ද, ආහාර ද, වාසස්ථාන ද ලැබෙයි. එලෙස ජීවත් වීමට අවශ්‍ය මූලික අඩිතාලම ලැබෙන මෙම පරිසරය පවතින්නේ ස්වාභාවික නීති රෙගුලාසි යටතේ ය. සූර්‍යාලෝකය ද, ජලයේ චක්‍රය ද, දේශගුණයේ රටාවන් ද, වනාන්තර වල පැවැත්ම ද, ඒවායින් හට ගන්නා ජලපෝෂක ගංගාවන්ගේ පැවැත්ම ද මේ රටට බත බුලත සපයයි; හුස්ම සපයයි. එවන් වූ භූමියක ඉපදීමට අපි වාසනාවන්ත වූවෙමු. එහෙත් අප එය තේරුම් අරගෙන ඇත්තේ මද වශයෙනි. එය තේරුම් නොගත් නිසාම අප එම ස්වාභාවික පරිසරය නොසලකා හරිමින් කටයුතු කිරීමට පෙළඹී ඇත්තේ ය. ස්වාභාවික ක්‍රමවේදයන් වලට අනුකූලව, ස්වභාවධර්මයේ නීතීන්ට අනුකූලව, ස්වයං පාලිතව පවතින පරිසරයේ පැවැත්ම අපගේ ක්‍රියා කලාපයන් නිසා විනාශ වෙමින් යයි. එහි විනාශයේ දිග පළල කෙතරම්දැයි කියතොත්, මේ කුඩා දිවයිනේ අපට ජීවනාලිය සපයන ස්වාභාවික පරිසරය අපේ ජාතියේ පැවැත්ම අනාගතයට තහවුරු කළ නොහැකි මට්ටමට කඩා වැටී ඇත. හුස්ම ද, ජලය ද, ආහාර ද නැතිව අපට ජාතිය මේ භූමිය මත පවත්වා ගෙන යා නොහැකි ය. හුස්ම ද, ජලය ද, ආහාර ද සපයන පරිසරය නොරැක මේ ජාතිය රැකිය නොහැකි බව අප තව ප්‍රමාද නොවී හෝ අවබෝධ කර ගත යුතු ය.

ලොව ප්‍රබල ජාතීන් සිය දැනුම හා ධනය භාවිත කර ඔවුන්ගේ පැවැත්ම කෘත්‍රිමව හෝ තහවුරු කර ගනු ඇත. එහෙත්, අපට ලද මේ දායාදය පසෙක ලා, එය නිම වූ පසු අපට කළ හැකි කිසිවක් නැත. එබැවින්, මේ රටේ ස්වාභාවික පරිසරය අපගේ ජීවනාලිය බව ද, රට ජාතිය රැකීමට නම් එය රැක ගත යුතු බව ද අප තේරුම් ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ මත් උවදුර පිළිබඳව කතා නොකර මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පූර්ණ නොවෙයි. අධික ලෙස මතට හුරු වූ ජාතියක ජවය හා ශක්තිය, මත නිසාම මිලින වී යයි. විශේෂයෙන් තරුණ පරපුර ජීවිතය ආරම්භ කරන සමයේදීම මතට ඇදී යාම අද සමාජයේ විශාල දුර්වලතාවයක් ලෙස හැඳින්විය හැකි ය. මත සම්පුර්ණයෙන් නැවැත්වීමට ලෝකයේ කිසිදු රජයක් සමත්වී නොමැත. නීතියේ පරමාධිපත්‍යය උපරිමයෙන් රකින, නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වන සංවර්ධිත රටවල පවා මත් උවදුර යනු විසඳා  නොගත් ගැටලුවකි. එබැවින් මතට තිත තැබීම යනු මෙම ගැටලුව විසඳන ප්‍රායෝගික මාර්ගය ලෙස අප නොදකිමු. මතට තිත තැබීමෙන් නොව මතෙන් ජනතාව ඈත් කර ගැනීමෙන් මත් ද්‍රව්‍ය භාවිතය සමාජයෙන් අවම කළ හැකි ය.

ඒ සඳහා නව උපක්‍රම යෙදවීමට පෙර අපට තිබෙන සාම්ප්‍රදායික උපක්‍රම නියමිතව සකස් කර ගත යුතු ය. නීතිය, පොලීසිය හා අධිකරණය යන ආයතන උපරිම කාර්‍යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වන්නේ නම්, එම ආයතන අනවශ්‍ය ඇඟිලි ගැසීම් නැතිව ස්වාධීනව කටයුතු කරන්නේ නම් මෙම මත් උවදුරෙන් විශාල පංගුවක් ක්ෂය කර ගත හැකි ය. නිවැරැදි අධ්‍යාපනය ක්‍රමයක්, සුදුසු රැකියාවක් ලැබෙන ආර්ථික ක්‍රමයක් හා දියුණු සමාජ ආර්ථික වටාපිටාවක් නිර්මාණය වීම තුළින් තරුණයන් මතට යොමු වීම අවම කර ගත හැකි ය. මෙම සාම්ප්‍රදායික නියාමන උපක්‍රම නිවැරැදි කර නොගෙන සමාජයෙන් මත දුරලීම ප්‍රායෝගික නොවේ. එවන් රාජ්‍ය පරිපාලනයක් ඇති කර ගැනීමේ වැදගත් කම හරිත ආර්ථික ප්‍රතිපත්තිය විස්තර කරන විටදී ද පැහැදිලි කරන ලදී. එබැවින් මේ පරිද්දෙන් සමාජය, රාජ්‍යය වෙනස් වන විට මත් උවදුර ද ඊට නියමිත ස්ථානයකට කොටු වනු ඇත. ඉන් අනතුරුව එය තවදුරටත් පාලනය කර ගැනීමට අලුතින් නීතී සම්පාදනය, සමාජ වැඩසටහන් හා ව්‍යාපාර ආදියෙන් හැකිවනු ඇත. එය රටේ සංවර්ධනයට සමගාමිව සමාන්තරව සිදු වනු ඇත.

කලින් පරිච්ඡේදයක කී පරිදි, රටේ දියුණුව යනු ඒ රටේ මිනිසුන් කෙතරම් සතුටින් සිටීද යන්න බවත් , එය මනිනු ලබන දළ ජාතික සතුට ගණනය කිරීමේදී සලකන ප්‍රධාන සාධක හතර යනු රටේ ආර්ථික සංවර්ධනය, යහපත් රාජ්‍ය පරිපාලනය, සංස්කෘතිය හා පරිසරයේ පැවැත්ම බවත් නැවත මතක් කරනු කැමැත්තෙමි. එබැවින් රට සංවර්ධනය කිරීමටත්, මිනිසුන් සතුටින් තැබීමටත් පරිසරය සුරැකීම මූලිකව ම අදාල වෙයි.

එලෙස පරිසරය රැකෙන ගමන් රට සංවර්ධනය කරා ගෙන යා හැකි මාර්ගය ජාතික හරිත පෙරමුණේ හරිත ප්‍රතිපත්ති 7 මගින් විස්තර කෙරෙයි. මූලික ඉඩම් ප්‍රතිපත්තිය, කසළ කළමනාකරණය, ප්‍රතිවනගත කිරීම, හරිත නගර, හරිත ආර්ථිකය, හරිත අධ්‍යාපනය හා තිරසාර පැවැත්ම ලෙස එම ප්‍රතිපත්ති ඔස්සේ රට ගෙන යා යුතු සංකල්ප ඉදිරි වසර 30ක් අරමුණු කරගෙන නිර්මාණය කළෙමු. රට අත්කර ගන්නා දියුණුව ද, ලෝකයේ ආර්ථික රටාවන්ගේ වෙනස් කම් ද සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාවලිය වසර 5ක් හෝ 10ක් ආදී කාලපරිච්ඡේදයකට පසු නැවත පුනරීක්ෂණය කර යාවත්කාලීන කර ගැනීමට අවකාශයක් තබා  ගත යුතු ය. මේ අනුව හරිත සංකල්ප, රට කරවන මූලික සංකල්ප තුළට කාවද්දවා ගැනීමෙන් මේ රටට තිරසාර සංවර්ධනයක් උදා කර ගත හැකි ය. එමගින් රටේ පැවැත්ම තහවුරු කර ගැනීමට හැකි වන අතර වර්තමාන පරම්පරාව විසින් රටේ සම්පත් භුක්ති විඳින ගමන් ඒවා අනාගත පරපුරට ද ඉතිරි කර තබා යා හැකිය. මෙලෙස අනාගත පරපුරට ශක්තිමත්ව ජීවත් වීමට සාර්ථක රටක් නිර්මාණය කිරීමෙන් පමණක් ජාතිය සුරැකෙන බව අප වටහා ගත යුතු ය. එය අපේ පරම යුතුකමද වගකීම ද වෙයි.

ජාතික හරිත පෙරමුණ

Enter your keyword