0 Items - £0.00
0
  • No products in the cart.

හරිත අධ්‍යාපනය

හරිත අධ්‍යාපනය

හරිත අධ්‍යාපනය

“රටක් සතු හොඳම ආර්ථික ප්‍රතිපත්තිය අධ්‍යාපනය යි” යනුවෙන් කියමනක් බටහිර දේශපාලන සාහිත්‍යය තුළ දක්නට හැකි වෙයි.

අප ඉදිරිපත් කළ දේශපාලන සැලසුම් සියල්ලම  ඉටු කර ගැනීමට අපට අවශ්‍ය ලොකුම සම්පත මානව සම්පත බව ද, ඒ ගොඩනැගෙන රටේ ශ්‍රම බලකාය රට හදන යාන්ත්‍රණයේ මූලිකම පාදම බව ද ඔබට මතක් කරනු කැමැත්තෙමු.

එබැවින්, අප මේ ගමන යාමට රටේ මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කරමින් මෙහෙයවා ගත යුතු ය. ඔවුන්ට නිසි අධ්‍යාපනය, පුහුණුව , නිපුණතා  ලබා දී වෘත්තීයමය වශයෙන් ඔවුන් සූදානම් කළ යුතු ය. මේ රට ගොඩ නැගිය යුත්තේ අප විසිනි. ඒ සඳහා අවශ්‍ය දැනුම සහ ශ්‍රමය වෙන රටකින් ගෙන ආ නොහැකි ය.  එබැවින්, මේ රටේ උපදින හැදී වැඩෙන අපේ දරුවන් ඔබ මේ දකින අනාගතය වෙත ගෙන යෑමට සූදානම් කළ යුතු ය. ගොඩනැගෙන රටට ඔවුන්ගෙන් ද එසේ රට ගොඩ නැගීමෙන් ලැබෙන පල ඔවුන්ට ද ලැබෙනුයේ ඔවුන් ඒ සඳහා සූදානම් නම් පමණි. වර්තමානයේ අප බිහි කරන ශ්‍රම බලකාය අක්‍රමවත් ය. එබැවින් මේ ක්‍රමයෙන් තව දුරටත් ඔබ තුමාට රට ඉදිරියට ගෙන යා හැකි නොවේ. එබැවින් ඔබ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු ය. හෙට ලොව දිනන වෘත්තිකයා හා ශ්‍රමිකයා නිර්මාණය වන්නේ ඒ වෙනස් කරන අධ්‍යාපන ක්‍රමයෙනි. අධ්‍යාපනය වෙනස් විය යුතු යැයි මා සිතන ආකාරය ඔබට මෙසේ පැහැදිලි කිරීමට මට අවසර…

අධ්‍යාපනයේ ඇති විය යුතු වෙනස් කම් හා ප්‍රතිසංස්කරණ, ප්‍රධාන කොට ආකාර හයකින් ඉදිරිපත් කරමි.

  1. අධ්‍යාපන ක්‍රමයෙහි අන්තර්ගතයෙහි වෙනස් කම්
  2. අධ්‍යාපනයෙහි ව්‍යුහයේ වෙනස් කම්
  3. අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක භෞතික වෙනස් කම්
  4. අන්තර්ජාතික පාසල් සඳහා උසස් අධ්‍යාපන ක්‍රමයක්
  5. ජාතිය, ආගම, භාෂාව අනුව නොබෙදුණ පාසල් ක්‍රමයක්
  6. ඉංග්‍රීසි භාෂාව පාසල තුළට ගැනීම
  7. අන්තර්ගතයෙහි වෙනස් කම් පහත ලෙස විස්තර කරමි.

රටක අධ්‍යාපනය යනු රටේ උපදින දරුවන් යහපත්  පුරවැසියන් බවට පත් කරන  මාධ්‍යය වූවත්, අප එයින් බලාපොරොත්තු වන ප්‍රධානතම ප්‍රතිඵලය නම්, ඒ පුරවැසියා රටේ පවතින ආර්ථික ක්‍රියාවලිය තුළින් සිය ජීවනාලිය සරි කර ගැනීමට හැකියාවක් ඇති සුදුස්සෙකු බවට පත් කිරීම ය. එනම්, රටේ ආර්ථිකය තුළ ව්‍යාපාරයක්, නිර්මාණයක් හෝ රැකියාවක් කර ඔහු හෝ ඇය සිය ජීවිතය හොඳින් පවත්වා ගෙන යාමට ආදායමක් සකස් කර ගත යුතු ය. එනම්, ඔබ පවත්වා ගෙන යනු ලබන අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන ශ්‍රමිකයා හෝ වෘත්තිකයා රටේ පවතින ආර්ථික ක්‍රමයට පලදායී කෙනෙකු විය යුතුය.  එවිට ඔවුන් ඍජුවම ආර්ථිකයට ඔබ්බවා ගත හැකි පුරවැසියන් බවට පත් වන අතර, එලෙස බිහි වූ දක්ෂයෝ ආර්ථිකයට අන්තර් ග්‍රහණය වීමෙන් ආර්ථික ක්‍රියාවලියට ද වාසි සහගත ය.

එබැවින්, අප අපගේ අධ්‍යාපන ක්‍රමය සකස් කර ගත යුත්තේ රටේ ආර්ථික ක්‍රියාවලිය, සංවර්ධන උපාය මාර්ගය අරමුණු කර ගෙන ය. ආර්ථිකයට වෘත්තිකයන්, නිර්මාණ කරුවන්, ශ්‍රමිකයන් , තාක්ෂණික ශිල්පීන්, ව්‍යවසායකයන් ආදීන් ප්‍රමාණවත් අයුරින් සැපයෙන ක්‍රමයකට ඔබ අධ්‍යාපන ක්‍රමය සකස් කළ යුතු ය. ඔබ අනාගතයේදී ඉදි කිරීමට නියමිත කාර්මික නගර, කාර්මික කලාප, නැව් ගුවන් ප්‍රවහන සේවා, කැණීම්, උද්‍යාන, ස්වාභාවික වනාන්තර ඇති කිරීම ආදිය ඉලක්ක කරගෙන එම ආර්ථික උපාය මාර්ගවලට පුරවැසියා ඉලක්ක කරවන අධ්‍යාපන ක්‍රමයක් ඔබ සැකසිය යුතුය.

අපේ රටේ දැනට බහුතරයක් ලෙස බිහි වන ඉතිහාසය , ශිෂ්ඨාචාරය , සාහිත්‍යය, භූගෝලය, කෘෂි කර්මය ආදියෙන් දාර්ශනිකයන් බිහි කිරීමෙන් ආර්ථිකයට පණ පොවන  ශක්තිමත් ශ්‍රම බලකායක් ගොඩ නැගීමට අපට නොහැකි ය. එම දාර්ශනික විෂයයන් එසේ දාර්ශනිකයන් විය හැකි පිරිසකට පමණක් සීමා කොට අනෙක් පිරිස් ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, විද්‍යා හා තාක්ෂණ, ඉංජිනේරු මෙන් ම, විවිධ ක්ෂේත්‍රවල තාක්ෂණික ශිල්පීන් ආදීන් නිර්මාණය කිරීමට යොදා ගත යුතු ය. එවිට ඔවුන් විශ්වවිද්‍යාලය තුළින්ම  වෘත්තීය නිපුණතා සහිත ගුණාත්මක පුරවැසියන් බවට පත් වන අතර, එළියට එන විටම රැකියාවක් ලබා ගැනීම සෘජුවම කළ හැකි ය. ආර්ථිකයට අවශ්‍ය ශ්‍රමිකයා නිර්මාණය කර දීම තුළින් පුරවැසියාට ජීවනාලියත්, ආර්ථිකයට දක්ෂ මානව සම්පතත් ලැබීමෙන් රට වේගයෙන් ඉදිරියට ගලා යනු ඇත. එවිට රැකියා විරහිත උපාධි ධාරීන් යැයි කොටසක් මින් මතුවට බිහි නොවේ.

උදාහරණයක් ලෙස ගත් කල, ඔබ රටේ සැලසුම් කරන ගොඩ නැගීම අනුව අවශ්‍ය වන ඉංජිනේරුවන් ප්‍රමාණය ගණනය කරන්න. අනතුරුව එම ඉංජිනේරුවන් ප්‍රමාණය සමහ වැඩ කිරීමට අවශ්‍ය තාක්ෂණික ශිල්පීන්මේසන්, වඩු, විදුලි කාර්මික, වෙල්ඩින්, ආදී) ප්‍රමාණය ගණනය කරන්න. දැන් ඒවාට අවශ්‍ය පාඨමාලා ඇති කරවන්න. මෙලෙසම රටට දොස්තරලා කීයක් අවශ්‍යද, එම ප්‍රමාණයට හෙදියන් කීයක් අවශ්‍ය ද ආදී ලෙස සෑම ක්ෂේත්‍රයකට ම මෙම ගණනය කිරීම කළ හැකි ය. එවිට ඔවුන්ට අධ්‍යාපනය අවසන් වූ වහාම රැකියාවට යොමු වීමේ අවකාශය සැලසෙයි.

එබැවින්, අප අධ්‍යාපනයේ අන්තර්ගතය රටේ ආර්ථික සැලසුම් මත සිට මෙහෙයවා ගෙන වෙනස් කරන්න. අපට පුළුවන්!

  1. අධ්‍යාපනයේ ව්‍යුහයේ වෙනස් කම් මම ඔබට මෙහෙම පැහැදිලි කරන්නම්.

අප රටේ සිසුන්ගේ දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණයක් නම් පාසල් හැර යෑමයි. එක වසරෙන් පාසලට ඇතුල් වන  දරුවන් උසස් පෙළ වන විට සැහෙන ප්‍රමාණයක් පාසැල් හැර ගොසිනි. සාමාන්‍ය පෙළට පෙරම සෑහෙන්න ප්‍රමාණයක් හැලී යන අතර සාමාන්‍ය පෙළින් පසුව තව කොටසක් හැලී යයි. උසස් පෙළින් විභාගයට මූණ නොදී ම කොටසක් ද, විභාගයෙන් අනතුරුව තව කොටසක් ද රටේ අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ නොලබාම සැඟවී යයි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ප්‍රමාණයෙන් ආර්ථිකයට සෘජුව දායක විය නොහැකි පිරිසක් ද පිටව යති.

සියලුම දරුවන්ගේ බුද්ධි මට්ටම් හා හැකියාවන් සමාන නොවන බැවින්, ඔවුන්ගේ විවිධත්වය තේරුම් ගෙන, එකිනෙකා සතු දක්ෂතාවයන් හඳුනා ගෙන එම දක්ෂතාවයන් ඔප්  නංවා ගෙන ඔවුන් සාර්ථකත්වයට මෙහෙයවන ක්‍රමයක් අප සැකසිය යුතු ය. ඒ සඳහා මෙලෙස ඔබට යෝජනා කරමි.

සාමාන්‍ය පෙළ දක්වා රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය අනිවාර්ය කරන්න. එය රජයේ වගකීමක් විය යුතු අතර,  ඒ සඳහා පූර්ණ මැදිහත්වීමක් රජය දැරිය යුතු ය. මේ සඳහා අවශ්‍ය නීති සම්පාදන කර ගන්න. සාමාන්‍ය පෙළින් අනතුරුව උසස් පෙළ හැදෑරීමට අකැමති, නුසුදුසු හෝ නොහැකි දරුවන් සඳහා තාක්ෂණික විද්‍යාල ඇති කරන්න. මේසන් වරුන්, වඩුවන්, විදුලි ශිල්පීන්, මිකැනික් වරුන්, ආදී බොහෝ ක්ෂේත්‍රවලට වෘත්තීය  සුදුසුකම් ඇති කරවන නිපුණතා වර්ධනය කරවන සිද්ධාන්තමය ඉගැන්වීමක් කර සහතිකයක් ලබා ගත හැකි මට්ටමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු ය.

උසස් පෙළින් අසමත් හෝ විභාගයට මුහුණ නොදූන් අයටද සිය අධ්‍යාපන හැකියාව මත විවිධ වෘත්තීන්ට යොමු වීමට ශිල්පීය ඥානය හා පුහුණුව ලබා දෙන තාක්ෂණික විශ්වවිද්‍යාල ඇති කළ යුතු ය. එම විද්‍යාල හා විශ්වවිද්‍යාල මෙලෙස පාසල් හැර යන හෝ ඉවත් වන දරුවන් සංඛායවට ප්‍රමාණවත් විය යුතු අතර, ඔවුන් සියල්ලන්ටම යම් ශිල්පීය හැකියාවක් ලබා දෙන්නක් විය යුතු ය. ඒ ඒ ශිල්පීය ක්ෂේත්‍ර ඔබගේ ආර්ථික උපාය මාර්ග අනුව සකසා ගත යුතු බව නැවතත් මතක් කරමි.

මෙම ක්‍රියාවලිය ඇති කළ පසු රටේ සියලුම දරුවෝ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් පුරවැසියන් බවට පත් වෙන අතර, ඔවුහු පාසැල් හැර ගිය පසු යම් වෘත්තීය සුදුසුකම් සැපිරූ ශ්‍රමිකයන් ලෙස මෙම ආයතන වලින් පිටව යති… අපේ ශ්‍රම බලකාය දැන් ඒ ආර්ථිකයට පණ පොවන්නට සූදානම් ය.

අධ්‍යාපනයේ ඇති විය යුතු ප්‍රමාණාත්මක භෞතික වෙනස්කම් පිළිබඳව දැන් මම පැහැදිලි කරන්නම්.

  1. ප්‍රමාණත්මක වෙනස් කම් ලෙස මා හැඳින්වූයේ පාසල් පද්ධතිය තුළ සිදු විය යුතු භෞතික වෙනස්කම් පිළිබඳව ය.

රට තුළ පවතින පාසල් අතර සම්පත් බෙදී යෑමේ දැඩි විෂමතාවක් පවතින අතර, අන්ත දුප්පත් මිනිස්සුන්ගේ දරුවන් පමණක් යන අන්ත දුප්පත් පාසල් මෙන්ම රටේ බොහෝ පොහොසතුන්ගේ දරුවන් යන සුපිරි පාසල් දක්වා රට තුළ පාසල් අතර සම්පත් බෙදී යාම අනුව දැඩි වෙනස් කමක් පවතී. මේ තත්ත්වය අධ්‍යයනය කර සුපිරි පාසල් මට්ටමට නොවුණත් රටේ සියලුම පාසල්වලට අවම පහසුකම් නිර්මාණය කිරීමේ වගකීම නායකයින් සතු ය.

මෙයද ගණනය කර කළ හැකි විද්‍යාත්මක කාර්යයක් බව ඔබට පෙන්වා දෙනු කැමැත්තෙමි.

අප රටෙහි මේ වසරේ ඉපදෙන දරුවන් ප්‍රමාණය ගණනය කර ගැනීමට, උපත් ලියාපදිංචි දෙපාර්තමේන්තුවෙන් අපට පහසුවෙන් හැකියාව ලැබේ. එසේ නම් තව අවුරුදු පහකින් ඒ ප්‍රමාණයට රටේ ප්‍රාථමික පාසල්වල එක වසරේ සීට් ප්‍රමාණයක් තිබිය යුතු ය. දැනට පවතින එම සීට් ප්‍රමාණය ගණනය කර, ඒවා මදි නම් ඔබ එම පහසුකම් සෑදීමට දැන් ම සැලසුම් සකස් කළ යුතු ය. එවිට දරුවා ලොකු වී ඉස්කෝලේ යෑමට සැරසෙන විටම ඔවුන් වෙනුවෙන් පහසුකම නිර්මාණය වී තියේවි. පාසල්වල අනෙකුත් පහසුකම් ද, උසස් පෙළට දරුවන් කීය ද, තාක්ෂණික විද්‍යාල හා විශ්වවිද්‍යාලවලට දරුවන් කීය ද ආදී වශයෙන් ගණනය කිරීමේදී, මේ වසරේ උපදින දරු පරම්පරාවට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් අපට ප්‍රක්ෂේපණය කර ගත හැකි වෙනු ඇත. ඒ අනුව එය සැකිල්ල කර ගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ භෞතික වෙනකම් සංවර්ධනය කිරීමට අපට පිළිවන.

නිසි පරිදි අප සතු සම්පත් කළමනාකරණය කර ගනිමින් නවීන පන්නයට ලෝකය සමග ගමන් කළ හැකි පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය නූතන දැනුම පාසල් තුළට ගෙන ආ යුතු ය.

ඔබට මම තව විශේෂ යෝජනාවක් කරන්නම්. කොළඹින් පිට වන ප්‍රධාන පාරවල්  5  සහ පිටත වට රවුම් අධිවේගය  ඇසුරු කොට ප්‍රධාන පාසල් 5ක් අලුතින් ම ගොඩ නැගිය යුතු ය. නෙළුම් කුලුන, මත්තල ගුවන් තොට, සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ආදියට වියදම් කළාක් මෙන්, ණය මුදලක් ගෙන විශාල ප්‍රමාණයේ ප්‍රධාන පාසල් 5ක් අලුතින්ම හදන්න අප යොමු විය යුතුය. දරුවන් 20,000 ක් පමණ අලුතින් බඳවා ගත හැකි මට්ටමෙන් මෙම පාසල් සමන්විත විය යුතු ය. එම පාසල්වලට කොළඹ පොඩි පොඩි ඉස්කෝල වල දරුවන් බඳවා ගත යුතු ය. රටේ ඈත කොන‍්වල සිට මහ පාන්දර නැගිටගෙන ඉස්කෝලේ ඇවිත් කොළඹ ට්‍රැෆික් එකේ පාසල් වෑන්වල ජීවිතය ගෙවා දමන දරුවන් මෙම නව පාසල්වලට බඳවා ගත යුතු ය. කොළඹ ට්‍රැෆික් එක අඩු කිරීමට ද, කොළඹ අහුමුලුවල ඇති කුඩා පාසල්වල දරුවන් ට හොඳ පාසලක් ලබා දීමට ද,  වෑන්වල කොළඹ රස්තියාදු වන දරුවන්ගේ ජීවිතය ප්‍රකෘතිමත් කිරීමට ද, එම ඉඩම් වඩා හොඳ සංවර්ධනයකට යෙදවීමට ද එයින් හැකි වේවි.

මේ සංවර්ධන උපාය මාර්ගය මා හරිත නගර හා ශ්‍රී ලංකාවේ ඉඩම් කළමනාකරණය පිළිබඳව ඉදිරිපත් කල මූලික සැලැස්මට අන්තර්ගත කර අනාගත සුපිරි ජනාවාස සැලසුම් වන භූමිවල සැලසුම් විය යුතු ය. රටේ අනෙකුත් ප්‍රදේශවලට ද මෙවන් පාසල් අවශ්‍යතාවය පරිදි ඇති කළ යුතු ය. රටේ සියලුම දරුවන්ට පාසලක් තුළ සීට් එකක් වෙන් කරන ක්‍රමයකට ගණන් බලා අපි සැලසුම් සකස් කළ යුතු ය. එම සීට් එකේ අවම ගුණාත්මක භාවය නිර්ණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටිය යුතු අතර, ඔබ ඒ සඳහා නියාමන ක්‍රමවේද ඇති කළ යුතු ය. ක්‍රමයෙන් වර්ධනය වන ආර්ථිකයෙන් මේ සඳහා සහය අපට ලැබෙනු ඇත.

  1. වර්තමානය වන විට රට තුළ අන්තර්ජාතික පාසල් විශාල ප්‍රමාණයක් පවතින අතර, ඇති හැකි පවුල්වල දරුවන් විශාල ප්‍රමාණයක් එම පාසල්වල අධ්‍යාපනය ලබති. ඔබේ අධ්‍යාපන සැලසුම්වලට එම පාසල් පද්ධතිය ද ඇතුළත් විය යුතු ය.

රජයේ පාසල්වලින් ප්‍රමාණවත් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කළ නොහැකි නිසා, හොඳ පාසලකට දරුවන් ඇතුළත්  කර ගත නොහැකි වූ දෙමාපියන් මෙලෙස සිය දරුවන් අන්තර්ජාතික පාසල් වෙත යවා අධ්‍යාපනය ලබා දෙයි. එහි වරදක් මම නොදකිමි. ඔවුනට තෘප්තිමත් අයුරින් රජයේ පාසලේ අධ්‍යාපනය නොලැබේ නම්, මුදල් ගෙවා එය ලබා ගැනීමේ වරදක් නොමැති ය.

නමුත්, ඒවා අන්තර්ජාතික පාසල් යැයි කියා එම දරුවන් රජයේ වගකීමෙන් නිදහස් නොවේ. ඒ දරුවන් ද මේ රටේ අනෙකුත් දරුවන් සේම සම අයිතියක් දරන දරුවෝ ය. එබැවින් අප ඔවුන් වෙනුවෙන් ද අපගේ ප්‍රතිපත්තිය සකස් කර ගත යුතු ය.

අන්තර්ජාතික පාසල්වල විෂය නිර්දේශය අන්තර්ජාතිකව පිළිගත්,  සියල්ලන්ටම පොදු එකක් කර ගත යුතු ය. එම දරුවන්ට පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් වීමට අවකාශ හෝ එම දරුවන්ට මෙරට තුළ සිට ම උසස්  අධ්‍යාපනය ලබා ගත හැකි විශ්වවිද්‍යාල පහසුකම් පිළිබඳව කලෙක පටන් හිඩැසක් පවතී. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ එම දරුවන් විශාල ලෙස මුදල් ගෙවා විදේශ රටවල අධ්‍යාපනය සොයා ඉගිල යාමත්, ඔවුන් බහුතරයක් ආපසු නොඒම නිසා බුද්ධි ගලනය ලෙස අපේ දක්ෂ දරුවන් අපට අහිමි වීමත් ය. දරුවා රටට මෙන්ම දෙමාපියන්ගෙන් ඈත් වීම ද, එසේ නැතිනම් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය නොලබා රට තුළ අතරමං වීම ද සිදු වෙයි. එබැවින් අප මේ සඳහා විශේෂ උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු ය. ගුණාත්මක පුද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමයක් ඇති කිරීම හෝ එම දරුවන්ට රජයේ විශ්වවිද්‍යාලවල දොරටු විවර කිරීම කළ යුතු ය.

  1. පස් වන කරුණ නම් ආගම, ජාතිය අනුව වෙන් වූ පාසල් හෝ විශ්වවිද්‍යාලවල පැවැත්ම අත්හිටුවීමයි.

අප රට තුළ පොදු අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු අතර, ඒ අධ්‍යාපන ක්‍රමය ජාතිය, ආගම හෝ ජන වර්ගය මත වෙනස් වීම සිදු නොවිය යුතු ය. සාමාන්‍ය පෙළ දක්වා දරුවන් පාසල් අධ්‍යාපනය ලැබිය යුත්තේ රටේ පොදු විෂය පථයට සමගාමීව ය. විවිධ ජාතීන්, ආගම් හා ජන වර්ග අනුව පාසල්  හෝ විශ්වවිද්‍යාල ඇති වීම වැළැක්වීය යුතු අතර, ඇති වී තිබෙන පාසල් ඉක්මනින් වෙනස් කොට පොදු දහරාවට අනුයුක්ත කර ගත යුතු ය. සියලුම පාසල් ඇතුළත ඒ ඒ ජන වර්ගවලට අදාලව ඔවුන්ගේ මව් භාෂාව හා ආගම ඉගෙන ගැනීමට අවකාශය සලසා දිය යුතු අතර, එම උගන්වන දෑ පොදු එකඟතාවක් මත නියාමනය කිරීම රජයේ වගකීමකි.

  1. පාසල් ඇතුළත උගන්වන භාෂාව ක්‍රමයෙන් අප ඉංග්‍රීසියට යොමු කරවිය යුතුය.

ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාවෙන් ද, කනිෂ්ඨ අධ්‍යාපනය වැඩි වන සේ ක්‍රමයෙන් ඉංග්‍රීසියෙන් ද, උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් ද ලැබෙන ක්‍රමයක් අප අනුගමනය කළ යුතු ය.

ලෝකයේ දැනුම ජනිත වී ඇත්තේ බොහෝමයක් ඉංග්‍රීසියෙන් බැවින්, ඒවා පහසුවෙන් අධ්‍යයනය කිරීම ද , එතනින් එහාට වැඩි දුර දියුණු කිරීමද කළ හැක්කේ ඉංග්‍රීසියෙනි.

අප කුඩා ජාතියක් බැවින් වීනයේ, ජපානයේ, කොරියාවේ මෙන් ඔවුන්ගේ භාෂාවෙන් ම රට දියුණු කිරීමට සිතීම ප්‍රායෝගික නොවේ. එබැවින් අප යම් දිනෙක, යම් යම් ප්‍රමාණවලින් ඉංග්‍රීසිය අපේ වැඩ කරන භාෂාව බවට පත් කර ගත යුතු ය.

අපේ මව් භාෂාවන් සුරැකිව රකින ගමන්, එම භාෂාවන් පාසල් තුළ උගන්වන ගමන් අප සාමාන්‍ය පෙළින් අනතුරුව, උසස් අධ්‍යාපනය හා රට තුළ වැඩ කරන භාෂාව ලෙස ඉංග්‍රීසි පිළි ගැනීම කල යුතු ය.

අප මෙය නිල වශයෙන් නොකළත්, මේ වෙනස සෙමින් සිදු වෙයි. රට තුළ අන්තර්ජාතික පාසල් වැඩි වීමත්, පුද්ගලික අධ්‍යාපන ආයතන බහුල වීමත්, පුද්ගලික අංශය සම්පූර්ණයෙන්ම වාගේ ඉංග්‍රීසියෙන් වැඩ කිරීමත් මේවාට උදාහරණ ය. ඉංග්‍රීසි නොදැනීම රැකියාවකට යාමට අප තරුණ පරම්පරාවට ඇති ප්‍රධාන බාධකයක් වී ඇත්තේ ය. එසේ නම්, අප එය පිළිගත යුතුව ඇත. අප ඉංග්‍රීසි භාෂාව ක්‍රමයෙන් රට තුළ ස්ථාපිත කළ යුතුව ඇත. එය එක වර සිදු වන්නක් නොවිය යුතු ය. එය, වසර 5-10 ක් පමණ කාලයක් ඇතුළත ඊට අවශ්‍ය සම්පත් හා පරිසරය සකසමින් දරු පරම්පරාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් සිදු විය යුත්තකි. එය අද හෝ හෙට සිදු විය යුතුම ය.

එහි ප්‍රමාදය රටේ ප්‍රමාදයට අනුලෝමව සමානුපාතික යැයි කිව හැකි ය.

එබැවින්, ඔබ සිතන්න. මා හට තනිවම මෙය කළ හැක්කක් නොවේ. මෙය සිදු කිරීමට ඔබට අත්‍යවශ්‍ය ම සාධකය නම්, මෙය කළ හැකි දක්ෂයෙකු මෙහි නියමුවා කර වීම ය. Meritocracy හෙවත් දක්ෂයාට තැන දීම යන ප්‍රතිපත්තිය ඔබට මෙහිදී වැදගත් වේවි. නෑයින්ට ආයතන වල ප්‍රධාන තැන් දෙන ක්‍රමයක අපට මෙවන් දේ කළ නොහැකි ය. මා මේ ඔබට දෙන වැදගත්ම පණිවිඩයයි. දක්ෂයෙකු පත් කර ගෙන මෙය භාර දෙන්න.

ඉදිවන හරිත නගර තුළ , අනාගතයට අපගේ දරුවන් සූදානම් කරන හරිත පාසල් තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රටර සෞභාග්‍යය උදාකරගත හැකි මූලීකම ආර්ථික උපාය මාර්ගය බව මම  ඔබට නැවත මතක් කරමි. එය දිගුකාලීන ය; අනාගතය වෙනුවෙන් ඒ දෙස බලා නිර්මාණය වෙයි; ඉන් අප සාර්ථකත්වයට පත් වෙයි.

ඔබට පුළුවන් !

අපිට පුළුවන් !!

Enter your keyword