හරිත ආර්ථිකය
රටක ආර්ථිකය යනු එහි පුරවැසියන්ට බත බුලත සරි කරනා යාන්ත්‍රණය වෙයි. රටක භෞතික දියුණුව ඇති කරනා, එහි අඩංගු සියලුම නිෂ්පාදන ක්‍රියාවලියන් ද පාරිභෝගිකයන් ද එකිනෙකාට මුහු කරවන, මුදල්මය වටිනාකම් තීරණය කරනු ලබන, එකිනෙකට සම්බන්ධ ක්‍රියා ජාලය ආර්ථිකය ලෙස හැඳින්විය හැකි ය.
මෙම යාන්ත්‍රණය මිනිසුන් සිටින සමාජයක් තුළ ස්වාභාවිකම ක්‍රියාත්මක වෙයි. එය රටක් ලෙස භූගෝලීයව සීමා වූ ප්‍රදේශයක හෝ ගෝලීයව මුළු ලෝකය හා බැඳී ක්‍රියාත්මක වෙයි. එම ආර්ථික යාන්ත්‍රණය රටක් තුළ ක්‍රියාත්මක වන ආකාරය රජය විසින් නියාමනය කළ හැකි ය; පාලනය කළ හැකි ය. එලෙස නිවැරැදිව එම යාන්ත්‍රණය පාලනය කර, එහි වඩා වැඩි ලාභ ප්‍රයෝජන ලැබෙන පරිදි ඉලක්ක ගත කිරීමට රජය සමත් වුවහොත්, එම රටේ ආර්ථිකය දියුණුවට පත් වෙයි. එසේ දියුණුවට පත් වෙන ආර්ථිකයේ ප්‍රතිලාභවලින් සමාජය ද පුරවැසියා ද වඩා ගුණදායී ජීවිතයකට යොමු කරවයි. එනම්, රටක දියුණුව එයම වෙයි.
ලෝකයේ විවිධ ආර්ථික රටා පවතියි. ඒ ඒ ආර්ථික රටා ඇතිවීමට බලපා ඇති මූලික හේතුව නම්, ඒ ආර්ථිකයන් හසුරුවනු ලබන රජයේ දේශපාලන මතවාදයේ වෙනස්කම් ය. සමාජවාදී රජයක් මගීන් මධ්‍යගතව ආර්ථිකය මෙහෙයවා සම්පත් බෙදී යාම සමානාත්මතාවයෙන් සිදු කෙරෙන අතර, ධනවාදී රජයක් මගීන් ආර්ථිකයේ මෙහෙයවීම නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමවේදය ඔස්සේ කරගෙන යනු ලබයි. ඔය අන්ත දෙක අතර විවිධ වූ මිශ්‍රණයන්ගෙන් වර්තමාන ලෝකයේ රටවල ආර්ථික රටාවන් නිර්මාණය වී ඇත. සමාජවාදී ආර්ථික රටාවන් මෙතෙක් ලෝකය තුළ අසාර්ථක වී ඇති අතර, එමගින් ධනය ජනිත කරවීමට හා මිනිසාගේ නිර්මාණශීලීත්වය මතු කර ගැනීමට නොහැකි ආර්ථික ක්‍රමයක් ලෙස ද ඔප්පු වී ඇත. මිනිසාගේ නිර්මාණශීලීත්වය මතු කොට, ඔහු සතු විභවයන් නිදහස් කොට ධනය ජනිත කළ හැකි ආර්ථික ක්‍රියාවලිය නම් නිදහස් වෙළෙඳපොළ ධනවාදී ආර්ථික රටාවයි. ධනවාදී නිදහස් වෙළෙඳ පොළ ආර්ථිකය ද රජයේ නියාමනයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කළ විට සමාජය තුළ ආර්ථිකයේ ප්‍රතිලාභ බෙදී යාමේ අසමානතාවයන් පැන නැගීම තුළින් මිනිස් සමාජයේ සමස්ත දියුණුවට එය හේතු නොවෙයි. එබැවින් සම්පූර්ණයෙන් රජයේ නියාමනයෙන් නිදහස් වූ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් ද සාර්ථක රටක් බිහි නොකරයි.
මේ වන විට ලෝක ආර්ථිකය සම්පූර්ණයෙන්ම වාගේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයකි. ඇතැම් රාජ්‍යයන් සුළුවෙන් තවමත් සිය ආර්ථිකයට සීමා මායිම් පනවමින් සිටියත් ඒව ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කරමින් නිදහස් වෙළෙඳ ආර්ථිකයට හුරු වනු ලොව පුරා දකින්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක වන්නේ මේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයම ය. ඉතා කුඩා රාජ්‍යයක් ලෙස අපට ලෝකයේ රටාවෙන් මිදී වෙනමම ආර්ථික රටාවක් නිර්මාණය කර ගැනීම අපහසු ය. අප, රටක් විදියට ලෝකයේ සෑම රටකටම වාගේ සෞභාග්‍යය උදා කළ නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට අනුගත විම සුදුසු ය. එබැවින්, මා නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය පිළිගන්නා අතර එය මෙරටට සුදුසු ආර්ථික ක්‍රමවේදය බව ප්‍රකාශ කර සිටිමි.
එම නිදහස් වෙළෙඳපොළ රජය මගින් සුදුසු පරිදි සීරු මාරු කරමින්, අවශ්‍ය මට්ටමට නියාමනය කළ යුතු ය. සම්පූර්ණයෙන් නිදහස් වූ වෙළෙඳපොළ ආර්ථිකය සහ සම්පූර්ණයෙන් නියාමනය කරන ලද ආර්ථිකය යන අන්ත දෙකේ නොසිට අප සිට ගත යුත්තේ රටට ගැළපෙන අයුරින් සකස් කරගන්නා ලද තරමක් නියාමනය කරන ලද නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයයි. එම නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය යාන්ත්‍රණයක් නම්, එය උපරිම කාර්‍යක්ෂමතාවයෙන් ක්‍රියා කරවීමට රජය පසුබිම හා පහසුකම් සැළසිය යුතුය. එහි කාර්‍යක්ෂමතාවයට බාධා පමුණුවන සාධක හඳුනා ගනිමින් ඒවා කළමනාකරණය කර ගැනීමෙන් මෙම ආර්ථික යාන්ත්‍රණය සාර්ථකව ඉලක්කගත කිරීම කළ හැකි ය. එලෙස කාර්‍යක්ෂම කරන ලද, නිවැරැදිව කළමනාකරණය කරන ලද ආර්ථිකයකින්, ආර්ථික දියුණුව අත් කර ගත හැකි අතර, එසේ අත් කරගනු ලබන ආර්ථික දියුණුවෙන් පුරවැසියාට ගුණාත්මක ජීවිතයක් උරුම කර දීමට රජයකට හැකියාව ලැබෙයි.
මෙම රජය විසින් යම් දුරකට නියාමනය කරනු ලබන නිදහස් වෙළෙඳ ආර්ථිකයට රටේ තිරසාර පැවැත්ම තහවුරු කරවන පරිදි හරිත දේශපාලන සංකල්ප එබ්බවීමෙන් හරිත ආර්ථිකය නිර්මාණය වෙයි. හරිත දේශපාලනයේ මූලික සංකල්ප 6 වන, පාරිසරික විඥානය, සාමකාමී බව, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, තිරසාර පැවැත්ම හා විවිධත්වය ඇගැයීම යන සංකල්ප ආර්ථිකය තුළට එන්නත් කරවා ගැනීමෙන් හරිත ආර්ථිකයක් නිර්මාණය කර ගත හැකි වෙයි.
දැන් අපි එම හරිත ආර්ථිකයක් නිර්මාණය කර ගන්න අයුරු සලකා බලමු.
රජයක, මිනිස් සමාජයක මූලික වගකීම විය යුත්තේ මේ පොළොව මත ජීවයේ පැවැත්ම තහවුරු කිරීම ය. රටක් තුළ නම්, ඒ රට තුළ මිනිසුන්, සතා සිවුපාවුන්, ගස් කොළන් ආදිය එවායේ පැවැත්මට තර්ජනයක් නොවී අනාගතයට පැවතිය යුතු ය. එනම්, ශ්‍රී ලාංකීය ජාතිය ද මේ රට තුළ පැවතිය යුතු ය. එහෙත් අප අද අනුගමනය කරනු ලබන ආර්ථික ක්‍රියාවලිය නිසා අප රට තුළ ජීවය රඳා පවතින සාධක යම් දවසක නිම වෙයි නම්, ඉන් අනතුරුව මේ රට ජාතිය නොපවතියි. එබැවින් කිසිදු වර්තමාන ආර්ථික ක්‍රියාවලියකට අනාගතය විනාශ කිරීමට අවකාශ ලබා දිය යුතු නැත. රට තුළ ඇති සම්පත් අප ද පරිභෝජනය කරන ගමන් ඒවා අනාගත පරපුර වෙත ද ඉතිරි කළ යුතු ය; රැකිය යුතු ය.
මෙම ගැටලුව අද අපි මුළු ලෝකය පුරාම රටවල දකිමු. අතළොස්සක් හැරුණු කොට ලෝකයේ සියලුම රාජ්‍යයන් මේ වන විට කාර්මිකකරණය වීම සිය එකම ආර්ථික උපක්‍රමය ලෙස සලකනු ලැබෙයි. මෙලෙස විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව සමග විවිධ නව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ තරගය නිසා මිනිසා විසින් කිසි කලෙකත් නොකළ ලෙස පරිසරය සූරා කෑමට පටන් ගෙන තිබේ.
විවිධ ලෝහ වර්ග සොයා පොළොවේ කැණීම් ලෝකය පුරා සිදු වෙයි. එම කැණීම් නිසා විවිධ බැර ලෝහ, විෂ රසායන, පරිසරයට, ජල මාර්ග වලට මුදා හැරෙයි. පොළොව අභ්‍යන්තරයේ ඇති සාරයන් තොරතෝංචියක් නැතිව මෙලෙස උකහා ගැනීමෙන්, එම ලෝහය පොළොවෙන් සම්පතක් ලෙස ලබා ගැනීමට නොහැකි ලෙස අවසන් වී යයි. ලෝකයේ අන්තිම තඹ නිධිය ද අවසන් වූ පසුව තඹ සොයා ගැනීමට වෙන ලෝකයක් අපට නොමැති ය.
අධික ලෙස බොර තෙල් ගොඩ දැමීම ද එයින් නිපදවන විවිධ ඉන්ධන අධික ලෙස දහනය කිරීම ද හේතු කොට ගෙන කාබන් අධික ලෙස වායුගෝලයට එකතු වෙයි. එලෙස කාබන් අධික ලෙස වායුගෝලයේ ගොඩ ගැසීම නිසා ලෝකයේ උණුසුම ඉහළ යෑම සමග දේශගුණික විපර්යාස ඇති වීමට පටන් ගෙන තිබේ. එම දේශගුණික විපර්යාසවල අවසන් ප්‍රතිඵලය වන්නේ, ස්වාභාවික විපත් විශාල ලෙස ඇති වී මේ ලෝකය ජීවයේ ගුණාත්මක පැවැත්මට නුසුදුසු ලෙස විනාශ වී යාම පමණකි. බොර තෙල් යනු මෙලෙස කාබන් පරිසරයට මුදා හරින එක් ක්‍රමයක් පමණකි. සත්ත්ව පාලනය, සිමෙන්ති නිෂ්පාදනය ආදී තව බොහෝ කර්මාන්ත කාබන් විශාල ලෙස වායුගෝලයට එක් කරමින් සිටියි. එම කාබන් වායුගෝලයෙන් ඉවත් කර ගැනීමට තවමත් ක්‍රමවත් තාක්ෂණයක් සොයා ගෙන නොමැත. කළ හැකි එකම කර්තව්‍යය වන ගස් සිටුවීමට ද එම කර්මාන්ත කරුවන් මැලිය.
තවද මිනිසා විසින් කෘත්‍රිම ව නිපදවන ප්ලාස්ටික් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යයි. එය මෑතකදී වසරකට මෙට්‍රික් ටොන් මිලියන 350ක් පමණ විය. ප්ලාස්ටික් දිරා යෑමට වසර 400ක්-500ක් අතර කාලයක් ගතවෙන බැවින් ඒවා මේ ලෝ තලය මත ගොඩ ගැසී තිබිය යුතු වෙයි. එලෙස වසර ගණනාවක් ප්ලාස්ටික් එකතු වූ විට ඒ වෙනුවෙන් ඉඩක් වෙන්කිරීමට ද සිදුවන අතර, ඒවා ස්වාභාවික පරිසරයට එකතු වීමෙන් පරිසරය දූෂණය වීමට ද ලක්වෙයි. එබැවින් ප්ලාස්ටික් භාවිතය පිළිබඳව ලෝකයක් විදියට සාමුහිකව තීන්දු තීරණ ගත යුතු ය.
මේ ආකාරයෙන් සැලකීමේදී නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය විසින් කෙළවරක් නැතිව පරිසරයේ සම්පත් උකහා ගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීමත්, එම භාණ්ඩවල භාවිතයෙන් පසු අවසන් අබලි හෝ අතුරු නිෂ්පාදන කුණු ලෙස පරිසරයට එකතු කිරීමත් සිදුවෙයි. එම පරිසරයෙන් ලබා ගත් අබලි හෝ කුණු නැවත පරිසරයට අවශෝෂණය වන පරිදි බැහැර කිරීමට නොහැකි වීම තුළ, ඒවා කෘත්‍රිම ආගන්තුක ද්‍රව්‍ය ලෙස පරිසරයේ රැඳී එකතු වෙයි. මෙම ක්‍රියාවලිය නොකඩවා සිදු වීමෙන් පරිසරය අතිශයින්ම ජීවත් වීමට නුසුදුසු අවකාශයක් බවට වෙනස් වන අතර, මිනිසාගේ මෙන්ම ජීවයේ පැවැත්මට ඉන් සෘජුව ම අභියෝගයක් එල්ල වෙයි.
ඉඩම් සොයා කැලෑ කැපීම ද, අමුද්‍රව්‍ය සොයා කැණීම් කිරීම ද, විෂ රසායන පරිසරයට මුහු කිරීම ද, නොදිරන කෘත්‍රිම ආගන්තුක දෑ පරිසරයේ ගොඩ ගැසීම ද, කාබන් වායු වලින් වායුගෝලය පුරවා දැමීම ද ආදී මූලික පාරිසරික විනාශයන්ට ඍජුවම හේතු වන ආර්ථික රටාවක අවසානය පරිසරය සම්පූර්ණ මිය යාම ය. මේ ලෝකය තුළින් ජීවින් වඳ වී යෑමේ වේගය ක්‍රමයෙන් වැඩි වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. මිනිසාට ද එම සත්‍යයට මූණ දීමට සිදු වන දිනය වැඩි ඈතක නොවේ.
එබැවින්, එහි යථාර්ථය අවබෝධ කරගෙන අප පහසුවෙන් දැකිය හැකි මේ සත්‍යය අවබෝධ කරගෙන ලෝක ආර්ථිකය තිරසාර පැවැත්ම තහවුරු කරවන ක්‍රමවේදයකට සකස් කර ගත යුතු ය. ඒ සඳහා පිරිවැයක් දැරිය යුතු අතර, රාජ්‍ය මැදිහත් වීම ඔස්සේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය පාරිසරිකව නියාමනය කිරීමෙන් පමණක් එය සිදු කළ හැකි ය. ඒ සඳහා හරිත දේශපාලන සංකල්ප නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට එක් කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස මම දකිමි.
ශ්‍රී ලංකාවට ද ආර්ථික දියුණුව අත්කර ගත හැක්කේ කාර්මිකකරණය වීමෙන් පමණකි.
ගොඩනැගීම්, භාණ්ඩ නිෂ්පාදනය, කැණීම්, කෘෂි කර්මය හා සේවා සැපයීම යන ප්‍රධාන ආර්ථික උපක්‍රම පහ සමගාමීව ගොඩනැගීමට අප සැලසුම් සකස් කළ යුතු ය. එම කර්මාන්තවලට අවශ්‍ය බල ශක්තිය නිපදවා ගැනීමට නැවත නිපදවිය හැකි බල ශක්ති ප්‍රභව වෙත මූලික අවධානය ලබා දිය යුතු ය. පරිසරයට අවම හානියක් වන පරිදි, එහි ස්වාභාවික පැවැත්මට තර්ජනයක් නොවන පරිදි එහි සම්පත් කැණීම් කිරීමෙන් ලබා ගත යුතු ය. දේශගුණික විපර්යාසයන් හඳුනා ගෙන පරිසරයට කාබන් නිකුත් කිරීම සීමා කරන ක්‍රමවේදයන් වලට යොමු විය යුතු ය. ප්ලාස්ටික් ආදී නොදිරන දෑ පරිසරයට එක් කිරීම අවම කිරීමට විවිධ ආර්ථික උපක්‍රම යෙදිය යුතු අතර, දැනට නිපදවා ඇති ප්ලාස්ටික්වලින් ප්‍රතිචක්‍රීකරණය කර ද්විතීයික ප්‍රයෝජනවත් පාරිභෝගික භාණ්ඩ නිපදවීමට යොමු විය යුතු ය. අනෙක් හරිත ප්‍රතිපත්ති මගින් ඉදිරිපත් කළ ඉඩම් කළමනාකරණය, හරිත නගර, වන රෝපණය, කුණු කළමනාකරණය ආදී සංකල්ප හරිත ආර්ථික ක්‍රමවේදය ඔස්සේ එකිනෙකට බද්ධ වෙමින් ක්‍රියාත්මක කළ හැකි ය. ඒ සියල්ලේම පොදු අවසන් ප්‍රතිඵලය වන්නේ මේ පොළොව මත ජීවයේ පැවැත්ම තහවුරු කිරීමත්, ඒ සියලුම ජීවීන්ට ගුණාත්මක ජීවිතයක් උරුම කර දීමත් ය.
ආර්ථික ක්‍රියාවලිය කුමක් වූවත්, එහි කාර්‍යක්ෂමතාව තීරණය කරනු ලබන්නේ අප විසින් එය හසුරුවා ගනු ලබන ආකාරය අනුව ය. ශක්තිමත් නීති පද්ධතියකින් සහ මනාව ක්‍රියාත්මක වන රාජ්‍ය පරිපාලනයකින් තොරව කිසිදු වැඩපිළිවෙළක් හෝ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැක. එබැවින් ඕනෑම වැඩපිළිවෙළක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට රජය සතු විය යුතු මූලික ගුණාංග 3ක් මෙලෙස විස්තර කරමි.
- දක්ෂ නායකත්වය
- කාර්‍යක්ෂම රාජ්‍ය පරිපාලනය
- නීතියේ පරමාධිපත්‍යය හා කාර්‍යක්ෂමභාවය
සාර්ථකත්වය කරා රට ගෙනයන වැඩපිළිවෙළක මුල් ගල් තුන ලෙස මෙම ගුණාංග ඉදිරිපත් කළ හැකි ය.
ඒ ගුණාංග මත සිට පහත දැක්වෙන කරුණු 3 අනුව කටයුතු කිරීමෙන් රට දිනවිය හැකි ය. ඒවා නම්,
- සුදුස්සාට සුදුසු තැන ලබා දීම.
වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ අප දැක ඇති මූලික ලක්ෂණයක් නම් රාජ්‍ය ආයතනවල විවිධ මුල් පුටුවල තනතුරු සඳහා නුසුදුස්සන් පත් කිරීම ය. එම පත් කරනු ලබන විෂයය පිළිබඳව කිසිවක් නොදන්නා පුද්ගලයෙකු අලුතින්ම ගෙනවිත් දේශපාලන ඕනෑ එපාකම් මත තනතුරු වලට පත් කෙරෙයි. එවිට එම රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී කඩා වැටෙනවා විනා, දියුණුවට පත් නොවෙයි. එබැවින්, එවන් පත්වීම් නොකර, විෂයය පිළිබඳව හසල දැනුමෙන් යුතු ආයතනයක් පාලනය කිරීමට දක්ෂයෙකු දේශපාලන කඳවුරෙන් වියුක්තව ඉදිරියට ගත යුතු ය. එලෙස කිරීමෙන් පමණක් තරගකාරී වටාපිටාවක් තුළ ආයතන සාර්ථක කර දියුණු කර ගත හැකි ය.
- අවංකභාවය
දෙවැනි කරුණ නම් මිනිසුන් ගේ අවංකභාවයයි. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල දැකිය හැකි මූලික ලක්ෂණයක් නම් සොරා කෑම ය. විශේෂයෙන් රාජ්‍ය අංශයේ සම්පත් එහි භාරකරුවන් විසින්, සේවකයන් විසින්, පාලකයන් විසින් සොරා කෑමට ලක්වෙයි. මෙවැනි විශාල ප්‍රමාණයේ වංචා හා දූෂණ, කොමිස් ගැසීම්, අල්ලස් ලබා ගැනීම් නිසා කිසිදිනෙක රටක් සාර්ථකත්වයට පත් නොවෙයි. එබැවින් අප ක්‍රමය සැකසිය යුත්තේ එසේ සොරා කෑම්, වංචා දූෂණ, අල්ලස් ලබා ගැනීම් පිටු දකින අයුරිනි. දක්ෂ නායකත්වය ද, ස්වාධීන අධිකරණය ද, නීතියේ පරමාධිපත්‍යය ද වැදගත් වන්නේ එහිදී ය. ඒ කරුණු දෙක ශක්තිමත් වූ විට කාර්‍යක්ෂම රාජ්‍ය පරිපාලනයක් ගොඩ නගා ගත හැක. එමගින් වංචා හා දූෂණ රහිත අවංක රාජ්‍ය සේවයක් නිර්මාණය කර ගත හැකි ය.
- නිවැරැදි තීරණ ගැනීමේ හැකියාව
අවංක , කාර්‍යක්ෂම, සුදුසුකම් ලත් රාජ්‍ය පරිපාලකයන්, සිය දක්ෂ රාජ්‍ය නායකයන් සමග එක්ව රට ඉදිරියට ගෙන යාම සඳහා නිවැරැදි තීන්දු තීරණ ගත යුතු ය. රට යන දිශානතිය සලකා බලා, එහි මතු වන අභ්‍යන්තර අභියෝග හා ගැටලු නිරාකරණය කර ගනිමින්, ලෝකයේ සිදු වන ආර්ථික දේශපාලනික වෙනස් කම් අධ්‍යනය කර අවබෝධ කර ගනිමින් අප රටේ ආර්ථික යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු ය. විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමට අප රට තුළ නිෂ්පාදනය කරන භාණ්ඩ අන්තර්ජාතික වෙළෙඳපොළට අලෙවි කර ගැනීමට ද, එසේ කිරීමෙන් අන්තර්ජාතික වෙළෙඳපොළේ සැලකිය යුතු පංගුවක් අපට උරුම කර ගැනීමට ද ක්‍රියාත්මක විය යුතු ය. මේ සියලු දෑ කිරීමට නම්, ගැටලුවක් හොඳින් අධ්‍යයනය කර එහි අඩංගු සියලුම කරුණු විශ්ලේෂණය කොට වඩාත්ම සුදුසු තීන්දු තීරණ ගැනීමට රට කරවන නායකත්වය දක්ෂ විය යුතු ය. එම නිවැරැදි තීරණ ගැනීමෙන් රටර උපරිම ආර්ථික වාසි ලබා ගත හැකි අතර ඒ අනුව රටේ දියුණුව ඇති කළ හැකිය.
මේ අනුව සැලකීමේදී රටට ගැළපෙන හොඳම ආර්ථික ප්‍රතිපත්තියක ඉහත කී කරුණු හොඳින් අන්තර්ගත විය යුතු ය. අනතුරුව ඒවාට හරිත ප්‍රතිපත්ති එබ්බවීම තුළින් හරිත ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය වෙයි.
මෙහිදී සැලකිය යුතු වැදගත්ම කරුණක් නම් රටට ආර්ථික සංවර්ධනය ගෙන ඒම පරිසරය රැකීමේ මූලික අඩිතාලමක් බව ය. දුප්පත් ආර්ථික ක්‍රියාවලිය නිසා රටේ මිනිසුන් ස්වභාවධර්මයේ සම්පත් තොරතෝංචියක් නැතිව උකහා ගනිමින් ජීවනාලිය සපුරා ගනියි. කැලේට පැන බීඩි කොළ කඩන, නෙල්ලි කඩන, සත්තු දඩයම් කරන, අලින්ගේ දළ කපන, ගස් කපන, පතල් හාරන පොඩි මිනිසුන්ගේ පටන් කැලෑ එළි කරන, ඉඩම් අල්ලා ගනු ලබන, වැලි හාරන, කඳු කපන, ගල් කඩන ලොකු මිනිසුන් දක්වා සිය ආදායම් මාර්ග සකසා ගෙන ඇත්තේ ඍජුවම ස්වභාවධර්මයේ ඇති සම්පත් මත යැපීම නිසා ය. එහෙත් ඔවුනට ආදායම් බෙදී යන පරිදි රට තුළ යම් කර්මාන්ත ක්‍රමයක් ඇති කළ හැකි නම්, ඔවුනට ජීවනාලියකට ගෙන යාමට මාර්ගයක් විවෘත වීම තුළ තව දුරටත් ඔවුන් වනාන්තර හෝ ස්වාභාවික සම්පත් මත ඍජුව යැපීම අත් හරිනු ඇත. කෘෂිකාර්මික රාජ්‍යයක් ලෙස තේ, රබර්, කටුපොල් ආදිය රටේ වටිනාම ඉඩම්වල පැතිරී යාම නිසා අප සතු ජලපෝෂක ප්‍රදේශ හීන වෙමින් පවතී. එහෙත්, වෙනත් වඩා හොඳ ලාභ ලැබිය හැකි කර්මාන්ත ඔවුනට හඳුන්වා දිය හැකිනම්, මෙලෙස කැලෑ ඉඩම් එළි කර ගනිමින් එම භෝග ව්‍යාප්තියට ඔවුන් පෙලඹෙන්නේ නැත.
තව ද නීතියේ පරමාධිපත්‍යය රැකී ඇති, කාර්‍යක්ෂම රාජ්‍ය පරිපාලනයක් ඇති වටාපිටාවක අනීතික ක්‍රියාවන් සිදුවීම සාපේක්ෂව අඩු ය. එබැවින් රට මෙලෙස ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමෙන් මිනිස් සමාජය විසින් පරිසරය මත පටවා ඇති බර අඩුවෙයි. එබැවින් පරිසර විනාශය ක්‍රමයෙන් අඩු කරගෙන එය වඩා හොඳ සුරක්ෂිත කොටසක් බවට පත් කිරීමට අපට හැකි ය. එය ආර්ථික සංවර්ධනයේ පරිසරයට ලැබෙන ඍජු වාසිය යි.
ඉහත කී කරුණු අනුව රට කෙරෙන විට, රට තුළ ව්‍යාපාර කිරීමට සුදුසු වටාපිටාවක් නිර්මාණය වෙයි. මෙම සමස්ත ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය නම්, විදෙස් ආයෝජන මෙරටට ගලා ඒම ය. ව්‍යාපාරයක් කිරීමට සුදුසු, ලාභ ලැබිය හැකි රටකට ඉබේම වාගේ විදෙස් ආයෝජන ගලා එයි. ඒ ආයෝජන සමග රට තුළ කර්මාන්ත පද්ධතියක් ආරම්භ වන අතර, එමගින් භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය වෙයි. ක්‍රමිකව මූල්‍ය වෙළඳපොළ ද යාවත්කාලීන කර ගනිමින් බැංකු ක්ෂේත්‍රයද ශක්තිමත් කර ගැනීම තුළ මෙම ආයෝජනවලින් උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි අවකාශයක් මෙහි නිර්මාණය වෙයි. මේ අයුරින් දියුණු වන විට රට මූල්‍ය ලෙස ස්ථාවර වී දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගොස් ණය වාරික පහසුවෙන් ගෙවී යයි. එවිට අප නිවැරැදි මාවතේ යැයි සතුටු විය හැකි මට්ටමෙන් ජනතාවට සෞභාග්‍යය උදා වී තිබෙනු ඇත.
එලෙස සෞභාග්‍යය උදා කරගන්නා විට , එම උදා කරගත් ධනය භාවිතා කර ගුණාත්මක ජීවිතයක් ගෙවීමට රට සූදානම් වී තිබිය යුතු ය.
අවසාන වශයෙන් රටක සංවර්ධනය යනු එහි මිනිසුන් කෙතරම් සතුටින් සිටිද යන්න ය. දළ ජාතික නිෂ්පාදනය ට වඩා දළ ජාතික සතුට වැදගත් බව හරිත දේශපාලනයේ නියුතු අපි පිළිගනිමු. රටක දළ දේශීය සතුට මනිනු ලබන කාරණා 4කි.
- ආර්ථික සංවර්ධනය
- යහපත් රාජ්‍ය පරිපාලනය
- සංස්කෘතියේ පැවැත්ම
- පරිසරයේ පැවැත්ම
එබැවින් , මින් ගම්‍ය වන සත්‍යය නම්, මිනිසා සතුටින් සිටීමට නම්, කෙතරම් ආර්ථික සෞභාග්‍යය උදාකර ගත්ත ද, පරිසරයේ යහ පැවැත්ම බලපවත්නා බවයි.
එබැවින් , පාරිසරික විඥානය අන්තර්ගත කළ සාර්ථක ආර්ථික ක්‍රමවේදයක් රට තුළ ඇති කළ යුතු බව අපි ඔබට මෙසේ ප්‍රකාශ කර සිටිමු.