0 Items - £0.00
0
  • No products in the cart.

හරිත නගර ඇති කිරීම

හරිත නගර ඇති කිරීම

හරිත නගර ඇති කිරීම

මිනිසා සිය සමාජය ස්වභාවධර්මයෙන් ඉවතට ගෙන යන ආර්ථික ක්‍රියාවලිය නිසා කලින් විස්තර කළ පරිදි ඔහු යාන්ත්‍රීකරණය වී කෘත්‍රිම අවකාශයක තනිවෙන අනාගතයක් නිර්මාණය වෙමින් පවතියි. ජලය ද, වාතය ද, ආහාර ද විවිධ යාන්ත්‍රන ඔස්සෙ නිපදවා ගනිමින්, පරිසරයෙන් වෙන්ව ඔහු තමා විසින්ම නිර්මාණය කරමින් තිබෙන කෘත්‍රිම කුටීර ඇතුළට සීමා වෙමින් පවතියි.

එම මිනිසා ස්වභාවධර්මයේ කොටසක් බවත්, ඔහු ද ජීවත් වන ජීවියෙකු බවත්, ඔහුගේ පැවැත්ම රඳා පවතිනුයේ ස්වභාවධර්මයේ පැවැත්ම මත බවත් ඔහු අමතක කරමින් සිටී. ක්‍රමයෙන් ඉහළ යන ස්වාභාවික විපත් ප්‍රමාණය ,ද සිය ජීවන රටාවන් ස්වභාවධර්මයෙන් ඈතට ඇදී යාම ද නිසා ඔහුට දැනෙන ආගන්තුක බව  හේතුකොට ඔහුගේ මෙම ඈත් වීම ත්‍රීව්‍ර වී ඇත්තේ ය. මිනිසා මෙලෙස ස්වභාවධර්මයෙන් ඈත් වීම මේ පොළොව මත පැවැත්මට හිතකර නොවේ. ඔහු ස්වාභාවික ජීවියෙකු ලෙස තුලිත වූ පරිසරයේ නිදහසේ ජීවත් වීම, ඔහුගේ ජයග්‍රහණය වෙයි.

එසේ නම්, අප නැවත මෙම ස්වභාවධර්මය ද, මිනිසා ද එකට මුහු කරන සමාජ වටාපිටාවක් ඇති කළ යුතු ය. මිනිසා ස්වභාවධර්මයෙන් ඈත් වීමට දරන උත්සාහය පරාජය කොට ස්වභාවධර්මය ඔහු වෙතට කැන්දා ගෙන ආ යුතු ය. එය කෙසේ කළ හැකිදැයි ඔබ මගෙන් විමසනු ඇත. පිළිතුර සරල ය. එනම්, හරිත නගර නිර්මාණය කිරීම ය.

ස්වභාවධර්මය ද මිනිසාගේ වර්තමාන ජීවිත ද එක් කර මුහු කරන, එසේ කිරීම තුළින් පිරිසිදු වාතය, ජලය, ආහාර ලැබෙන නිරෝගී ජීවන රටාවකට මිනිසා යොමු කරවන තිරසාර පැවැත්ම තහවුරු කරවන සංවර්ධනයේ උච්චම අග්‍ර ඵලයක් ලෙස හරිත නගර හැඳින්විය හැකි ය. ඔව්, එය හැබෑ සංවර්ධනයේ උපරිම ප්‍රතිලාභය විය හැකි ය.

හරිත නගර නිර්මාණය කිරීම ද ජාතික වැඩපිළිවෙළක් යටතේ සැලසුම් විය යුතු, රටේ මූලික සංවර්ධන සැලැස්මේ අනිවාර්ය අංගයක් විය යුතු ය. එය අනාගත සැලසුම්වල කොඳු නාරටිය විය යුතු අතර, මුල් අවස්ථාවේ පටන් රටේ සංවර්ධනයට හරිත අනුගත කිරීම් සිදු කළ විට ක්‍රමයෙන් එම හරිත නගර බිහි වීම ඇරඹෙයි. එබැවින් එය වෙනමම ව්‍යාපෘතියක් හෝ කටයුත්තක් නොව, රටේ සංවර්ධනයට සමගාමීව මුහු වී යන ක්‍රියාවලියකි. එයළකල හැක්කේ රටේ මූලික සංවර්ධන වැඩ පිළිවෙළට පාරිසරික විඥානය එබ්බවීමෙන් හෙවත් Ecological Wisdom එක අන්තර්ගත කිරීමෙන් පමණ ය. එවන් වූ සංකල්පමය වෙනසකින් ඇතිවන මූලධර්මීය හැරවුමක අවසාන ප්‍රතිඵලය ලෙස හරිත නගර බිහිවෙයි.

හරිත නගර වල මූලික ලක්ෂණ කීපයකි.

  1. හරිත නගර පාරිසරිකව තිරසාර ය.
  2. අඩුම ශක්තියක් යොදවා ගනිමින් පවතියි.
  3. පරිසරය දූෂණය නොවෙයි.
  4. කසළ කළමනාකරණය ප්‍රශස්ත මට්ටමෙන් සිදුවෙයි.
  5. ස්වාභාවික විපත් වලට ඔරොත්තු දෙයි.
  6. සූර්‍යාලෝකය, ජලය, භූමිය ආදිය උපරිම කාර්‍යක්ෂමතාවයෙන් යුතුව යොදවා ගනී.
  7. නගර වැසියෝ පරිසරය සමග මුහු වී නිරෝගී ජීවිත ගත කරති.

මින් ඔබ්බට ගිය තවත් විද්‍යාත්මක කාරණා ගණනාවක් මේ සමග සාකච්ඡා කළ යුතු වූවත්, එය මෙම ලියවිල්ලේ සීමා මායිම් වලින් ඔබ්බට යන බැවින් මෙසේ සරලව විස්තර කර නවතිමි. මෙහි අදහස ඔබට අනාගතය වෙනුවෙන් ගොඩනැගෙන තිරසාර සංවර්ධනයක මූලික අදහස හඳුන්වා දීම පමණකි. එලෙස ගොඩනැගෙන හරිත නගර ඔබට සිතා ගැනීමටමෙලෙස විස්තර කළ හැකි ය.

හරිත නගරයක මං මාවත් පුළුල් ය; මාර්ග තදබදයක් කිසි විටෙක ගොඩ නොනැගෙයි. මිනිසුන්ට පයින් ඇවිද යාමට වෙනම පදික වේදිකා ද, වෙනම බයිසිකල් මං තීරු ද වෙයි. හරිත නගර දෙකක් ප්‍රධාන මාර්ග ජාලයකින් සම්බන්ධ වෙයි. අප කලින් පැහැදිලි කළ කසළ කළමනාකරණය පිළිබඳ සැලසුම් වලට අනුකූලව, කසළ වෙන්කර එකතු කර ගනිමින් ජාතික ප්‍රතිපත්තියක් අනුව කළමනාකරණය වෙයි. සියලුම මාර්ග ගස් වවා සෙවණ කොට ඇත. පදික වේදිකා, මං තිරු සෙවණ ය. නගරය තුළ ජල පරිවහනයට පුළුල් කානු පද්ධතියකි. එමගින් වැහි ජලය හා අපවහන ජලය රැගෙන යයි. තෙත් බිම් හා ගොඩ බිම් මුහු කර උද්‍යාන ජාලයක් නිර්මාණය වෙයි. ඒ උද්‍යාන එකිනෙක ජලයක් මෙන් සම්බන්ධ වෙයි. ගොඩනැගිලි හා නිවාස හරිත සංකල්ප මත හිරු එළියේ උපරිම ප්‍රයෝජනය ලැබෙන පරි,දි ගහ කොළේ සිසිලසෙන් නඩත්තු වෙයි. විදුලි ආලෝකය හා වායුසමනය අවමව භාවිත වෙයි. හැකි හෑම බිම් අඟලක්ම ගසක් වැවීමට හෝ උද්‍යානයක මුහුණුවරක් ගන්නා ලෙස නිර්මාණය වෙයි. පුද්ගලික වාහන භාවිතය අවම වන අතර, හොඳින් නඩත්තු වන ලාභදායි පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වෙයි. මිනිසුන්ගේ ගමනාගමන අවශ්‍යතාවය අවම වන පරිදි, නිවාස හා ආයතන නිර්මාණය ද තාක්ෂණයේ භාවිතය ද සිදු වෙයි. සූර්ය බලය, සුළං බලය, ජල විදුලිය ආදී ශක්ති ප්‍රභවයන් උපරිමයෙන් භාවිත වෙයි. අඛණ්ඩ පිරිසිදු ජල සැපයුමක් හා විදුලි බල සැපයුමක් සැලසෙයි. නගරයේ සමස්ත කාබන් විමෝචනය අවම මට්ටමකට තබා ගැනීමට නිරන්තරයෙන් අවධානයක් යොමු කෙරෙයි. මේ සියල්ලෙහිම අවසන් ප්‍රතිඵලය වන්නේ, මිනිසාට ස්වභාවධර්මයේ ආශිර්වාදය සමග නිරෝගී නිදහස් පූර්ණ ගුණාත්මක ජීවීතයක් ගත කිරීමට අවශ්‍ය ගොඩ නැගීම හරිත නගරයක් තුළ නිර්මාණය වීම ය. 

ඒ අනුව මෙවන් හරිත නගර යනු, ඇත්තෙන්ම සංවර්ධනයේ මුදුන් මල්කඩ බඳු මිනිස් ශිෂ්ටාචාරයේ අග්‍ර ඵලයන් ය. එම නගර සංවර්ධනය අවසානයේ උරුම වන්නක් නොව නිසි සැලසුම් සහගතව කරනු ලබන සංවර්ධනයේ මූලික අඩිතාලමේ පටන් ඇරඹෙන, එතැන් පටන් රට සමග වැඩෙන දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එබැවින් රටේ වත්මන් සංවර්ධනයට මෙම සංකල්ප අන්තර්ගත කිරීම අත්‍යවශ්‍යම කාරණයක් බව පෙන්වා දෙන්නට කැමැත්තෙමු.

මෙවන් දැක්මක් ඇතිව ඉදිරියට රට ගෙන යාමෙන් පමණක් අප බලාපොරොත්තු වන සංවර්ධිත රාජ්‍යය ඉක්මනින් උදා කර ගත හැකි බව ද, ජනතාවට වඩා ගුණාත්මක ජීවිතයක් ඇති කර දිය හැකි බව ද අප අවබෝධ කර ගත යුතු ය.

එබැවින්  එවන් සංකල්ප ඉදිරියට ගෙන යාමට ඔබේ සහයෝගය ශක්තිය ප්‍රාර්ථනා කරන්නෙමු.

Enter your keyword