හරිත දේශපාලනය හඳුනා ගනිමු

අපි ලංකාවේ ඔබ අවට පරිසරය දෙස බලමු. ඔබ කුඩා කාලයේ ඔබගේ මතකයන්ට වඩා කෙතරම් වෙනස් වී ඇත්දැයි මඳක් සිහි කර බලන්න.

ඇළේ , දොළේ ගඟේ, වෙලේ, ලිඳේ , ඔයේ ගලා ගිය දිය ප්‍රමාණය අඩු වී ඇත. කුඩා කල සිට ඔබ හැදී වැඩුණු පරිසරයේ ගහ කොළ සීඝ්‍රයෙන් අඩු වී ඇත. ඒ වෙනුවට ඉඩම් කට්ටි වී ගොස් තැනින් තැන අපි නිවෙස් සාදා ගෙන පදිංචි වී සිටිමු. වැසිකිළි වළකත්, පොළොවේ කැපූ ළිඳකත් අතර තිබිය යුතු අවම දුර පවත්වා ගනිමින් ඉඩමක් කළමනාකරණය කර ගැනීමට තරම් ලොකු ඉඩම් සාමාන්‍ය මිනිසෙකු සතුව නැත.

වෙනදාට වැහි රටා අනුව දෙකන්නයේ වගා කළ ඔබට දැන් වැස්සේ රටාවන් වෙනස් වී ඇතැයි සිතෙයි. වෙනදාට දශකයකින් දෙකකින් එන ගං වතුර දැන් අවුරුදු පතා පැමිණෙයි. පායන විට පොළොව ඉරිතළා වැව් පිටි දූවිලි බවට පත් වන තුරු පෑවිල්ල ද, වහින විට ගං වතුර ඇවිත් ජීවීත අහිමි වෙන තුරු වැස්ස ද ඔබේ සාමාන්‍ය ජීවිතය දුෂ්කර කර ඇත. මේ ඔබ ඉදිරියේ ඇස් පනාපිට සිදු වෙමින් පවතින්නේ කුමක් ද?

නිදහසට පෙර ලංකාවේ වනාන්තර ප්‍රමාණය 50% ක් ඉක්මවා තිබුණ ද, දැන් එම අගය 28% ක් පමණ වන කුඩා අගයකි. මුළු ලෝකයේම වන ගහණය ලෙස සැලකෙන 33% ට අගයටත් වඩා ඉතා පහළ අගයකි. එම ප්‍රමාණය දිනෙන් දින තවත් අඩු වෙමින් යන්නේ ඉතාමත් ශීඝ්‍රගාමි වේගයකිනි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් වනාන්ත, අප්‍රිකාවේ කොංගෝ වනාන්තරය, දකුණු ආසියාවේ බෝනීයෝ සුමාත්‍රාව හා එකම තලයේ පිහිටි ඉතාමත් හරිත වූ භූමියක් වන ශ්‍රී ලංකාව ක්‍රමයෙන් එම හරිත වැස්මෙන් මිදෙමින් පවතින්නේ ය.

චීනයේ ෂංහායි, ඉන්දියාවේ නව දිල්ලියේ අක්‍රමවත් කාර්මීකරණයේ අතුරු ප්‍රතිඵල ලෙස එම නගර වසා ගනිමින් විෂ වායු ස්ථරයක් පැවතීම පිළිබඳව අපිකලින් දැන සිටියෙමු. එහෙත් වසර 2019 වන විට කොළඹ නගරය ද වසා ගනිමින් එම විෂ දුමාරය අප අරක් ගත් බව ඔබ පසුගිය කාලයේ හොඳින් අත් දකින්නට ඇත.

ඔබ මේ වත්මන් තත්ත්වය මීට වසර 25 කට පෙර නොතිබුණු බව අත්දැක ඇත්තෙහි ය. එසේ නම් තව අවුරුදු 25 කින් ඉදිරියට හිතන්න. මේ තත්ත්වය මෙලෙස ගලා යාමෙන් එය කෙතරම් දුරකට වෙනස් වෙනු ඇති ද? තව වසර 25 කින් එළැඹෙන ලෝකයක ඔබට ද මට ද හුස්ම ගැනීමට හැකියාවක් ලැබෙයි ද? බීමට වතුර සොයා ගැනීමට ලැබේවි ද? අප එදා ගෙවූ ගුණාත්මක ජීවිතය ගෙවා ගැනීමට අපට හැකියාවක් ලැබෙයි ද? ඇත්තෙන්ම එය සිතීම උගහට ය. එබැවින් අප අද දින ක්‍රියාත්මක විය යුතුව ඇත.

අපේ මිනිස්සු කැලෑ ඇති ප්‍රදේශ වල ගස් කපති. කඳු ඇති ප්‍රදේශ වල පස් කපති. ගල් ඇත්නම් ගල් කඩති. වැලි තිබේ නම් වැලි හාරති. අපි තොරතෝංචියක් නැතිව පරිසරයේ සාරය උරා ගනිමින් ජීවත් වීමට පුරුදු වී සිටිමු. එසේ උරා ගන්නා සාරය ස්වභාවධර්මයේ සාරය බවද, එය අප විසින් එතරම් උරා ගෙන වෙළෙඳපොළහි අලෙවි කරන විට ස්වභාවධර්මයේ පැවැත්ම තර්ජනයට ලක් වන බව ද අපි නොසිතමු.

එලෙසම, අපේ මිනිස්සු ආව ගිය තැන තොරතෝංචියක් නැතිව කසළ බැහැර කරති. කසළ යන ජාතික ගැටලුවට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැතිව තැන තැන කුණු කඳු හදමින් සිටින්නෙමු. එතරම් නිර්මාණශීලී නොවූ ආර්ථික හසුරුවන්නන් විසින් නොදිරන දේවලින් දිරිය යුතු දෙයද, දිරන දෑවලින් නොදිරිය යුතු දෙය ද නිෂ්පාදනය කරමින් සිටිනු ලැබේ. මේවායේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ කර ගසා ගත නොහැකි තරම් කුණු කවල අයිතිකාරයින් බවට අප පත් වීම ය. තව අවුරුදු කීපයකින් අප තව බොහෝ විශාල කුණු කඳුවල අයිතිකරුවන් බවට පත්වන්නෙමු.

මෙතෙක් කලක් මෙය වටහා ගත් බොහෝ මිනිසුන් මේ පිළිබඳව හඬ නගා ඇත්තේ ය. ඔවුනට පින් සිදු වන්නට අපට අද ස්වභාව ධර්මය මෙතරම් හෝ රැකී ඇත්තේ ය. විවිධ පරිසර ගැටලු හමුවේ සංවිධානය වූ මිනිස්සු ඒ පිළිබඳව විවිධ අයුරින් ක්‍රියා කළහ. පරිසර සංගම් හැදූහ. විවිධ දේශපාලන බලපෑම් කළ හැකි කණ්ඩායම් නිර්මාණය කළහ. පාරට බැස උද්ඝෝෂණය කළහ. ලියුම් ලියාගෙන පාලකයන් ළඟ, නිලධාරීන් ලඟ කල් මැරූහ. උසාවි වල නඩු කීහ.

නමුත් ඉන් අත්කරගත් ජයග්‍රහණ, පරිසරය නිසි ලෙස රැක ගැනීමට තරම් ප්‍රමාණවත් නොවිණි. එසේ නම්,  අප ඊළඟ පියවර තැබිය යුතු ය. තව දුරටත් පාලකයා ළඟ ඉල්ලීම් කරමින් වැටී සිටීමට වඩා ඔහු විස්ථාපනය කොට එහි බලය අප අතට ගත යුතු කාලය එලඹ ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පරිසරය නියෝජනය කිරීමට ඒ වෙනුවෙන් වූ විශේෂ නියෝජිතයන් අප පාර්ලිමේන්තුවට යැවිය යුතුය. ජීවිතයට සරිලන අයුරින් පරිසරය රැක ගැනීමට අප එසේ කළ යුතු බව මම විශ්වාස කරමි.

අප මේ දරමින් සිටින්නේ මේ උත්සාහයයි. ප්‍රශ්නයක් ඉදිරියේ විසඳුම් සොයනු විනා, තැවි තැවී සිටීමට අප සූදානම් නැත. මේ කරමින් සිටිනුයේ එම විසඳුම සොයා යෑමයි. රට කරවන තැන ස්වභාව ධර්මය වෙනුවෙන් හඬක් නැගීමට ද, රටේ දිශානතීන් පරිසරයේ නියමයන්ට අනූකූලව හැරවීමට ද, ඒ අනුව යමින් අනාගත ශ්‍රී ලංකාව ජීවත් වීමට සුදුසු ගුණාත්මක දේශයක් ලෙස ගොඩ නැගීමට අවශ්‍ය සියලුම සාධක නිර්මාණය කොට එහි මුරකරුවා මෙන් රැක ගෙන සිටීමට ද අපි බලාපොරොත්තු වෙමු.

ඒ වෙනුවෙන් අපි අද ඔබ හමුවේ මෙසේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට අවසර පතන්නෙමු. අප දිනවීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඔබට හැකි ය. අප නිවැරැදි නම්, අප සමග එකතු වී පරිසර නියෝජිතයන් පාර්ලිමේන්තුවට යැවීමට ඔබේ දායකත්වය දක්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

 

පැතුම්

Related Articles

පාවෙන රුපියල

තද සුලං හමාවි, කුණාටු, සුනාමි ඒවි, ගං වතුර ඒවි,බෝම්බ ගසාවි, බූමි කම්පා ඇවිත් පොළොව සෙලවේවී, නියඟ ඒවි, ඇවිත් පොළොවේ ඉරි තලා යාවි, යුද්ධ කරාවී, ආණ්ඩු…

ලෝකය වෙනස් කළ ගොඩක් නිර්මාණ පටන් ගත්තේ විද්‍යාගාර ඇතුලෙම නෙවෙයි.

ලෝකය වෙනස් කළ ගොඩක් නිර්මාණ පටන් ගත්තේ විද්‍යාගාර ඇතුලෙම නෙවෙයි. ගැරෙජ් වල, ගෙවල් වල කාමර වල නව නිර්මාණ බිහිවුනා. මේත් ඒවගේ වැඩක්… මහරගම වාහන වල…

Skip to toolbar