Chathuranga ට ලියන අවසාන ප්රතිපිලිතුරු ලිපිය.
Chathuranga ට ලියන අවසාන ප්රතිපිලිතුරු ලිපිය.
සමාජවාදය හෝ ධනවාදය ආර්ථික මොඩලයක් නොවන බව ද මා කතා කරන්නේ විවෘත වෙළඳපොළ ආර්ථිකයක් පිළිබඳව බව ද ඔබට යලි මතක් කර දෙමි.
ඔබලාට සමාජවාදය මෙන්, මා ධනවාදයේ කතාන්දරයක් කර පින්නා ගෙන ගොස් නැති බවත්, මා නිරන්තරයෙන් ඉදිරිපත් කොට ඇත්තේ විවෘත වෙළඳපොළ ආර්ථිකයක් හෙවත් Open Market Economy එකක් බව යලිත් ඔබට සිහි කරමි.
ඔබට මම මෙහෙම උදාහරණයක් ගේන්නම්. අපි ධනවාදී හෝ සංවර්ධිත යැයි පොදුවේ සලකන OECD රටවල් ගත් විට ඒවායේ දළ දේශීය නිශ්පාදනයට සාපේක්ෂව රාජ්ය බදු ප්රමාණය 33%කි. එය දකුණු ආසියාවේ ආසන්නව 12% ක් වන අතර ලංකාවේ එය 8.7% කි. එම රට වල වක්ර බදු වෙනුවට අය කරනුයේ සෘජු බදු වන අතර, බොහෝ ආහාර පාන ඇතුළු මූලික භාණ්ඩ වලට බදු අය කිරීමක් නොමැත. සෘජු බදු ලෙස අදි පුද්ගල ආදායම් වලින් 50% සීමාවටම බදු පැනවෙයි. එම බදු භාවිතා කර රට තුල හොඳ රාජ්ය පරිපාලනයක් ක්රියාත්මක කරන අතර ජනතාවට සුභ සාධනයක් සැලසෙයි.
මා ඔබට යලිත් කියන්නේ ඔබ ලංකාවේ දකින්නේ ධනවාදය හෝ විවෘත වෙළඳපොළ ආර්ථිකයක් නොව සූරා කන රාජ්ය අකාර්යක්ෂමතාවයෙන් පිරුණු විකෘතියක් බවයි. එබැවින් ලංකාවේ සිදු වන දේ දැක ඔබ විවෘත වෙළඳපොළ ආර්ථිකය හෝ ධනවාදය ගැන නිගමන වලට එළඹීම නිවැරදි නැත.
ඔබේ ප්රතිපත්ති දෙස බැලීමේදී ද පැහැදිලිව පෙන්නේ ඔබ සමාජවාදයක් ගැන කීවාට එහි අන්තර්ගත වන්නේ ද විවෘත වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණම බවයි. සමාජවාදී සංකල්ප වල සිට ඔබ ද දකින්නේ පවතින වෙළඳපොළ ආර්ථිකය තුලින්ම ආර්ථිකය නිර්මාණය කිරීමයි.
ඒ තුල පූර්ණ නිදහස නොමැති අතර යම් යම් කර්මාන්ත නියාමනය සහ රාජ්ය යටතේ පැවැතිය යුතු බව ඔබලා විශ්වාස කරයි. එය සිය දේශපාලන දැක්ම සහ මතවාදය මත තීරණය වන්නක් බැවින් ඒවා ගැන තර්ක කිරීම පසුවට කල් තබමු.
මාගේ දේශපාලන ආර්ථික දැක්ම වන්නේ ඔබලා ඔය යෝජනා කරන වෙළඳපොළ ආර්ථිකය ද සාර්ථක වන්නේ එය නොබියව ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ කිරීමෙන් බවයි. මා පෙර පැහැදිලි කිරීමේ ඉදිරිපත් කල පරිදි ලෝකය පුරා මේ වන විට පවතින්නේ විභාජනය වූ නිශ්පාදන ක්රියාවලියක් වීමත්, ප්රාග්ධනය සැපයෙන්නේ ගෝලීය මූල්ය වෙළඳපොළෙන් වීමත් නිසා , අපනයන මූලික කර ගත් ගෝලීය වෙළඳපොළ අරමුණු කර ගෙන අප හොඳින් ගෝලීය වෙළඳපොළට විවෘත වීමත්, අනුගත වීමත් අවශ්ය බව මා විශ්වාස කරමි. අමුද්රව්ය මෙන්ම ප්රාග්ධනය පහසුවෙන් ගලා යා හැකි ව්යාපාර කිරීමට නිදහස් වටා පිටාවක් නිර්මාණය කිරීම වේගයෙන් ධනය උත්පාදනය කිරීමට ඇති එකම මාර්ගයයි.
ඔබලා ප්රතිපත්ති ලියා සිහින රාජ්යය නිර්මාණය කිරීම ගැන කතා කලත්, මා කලින් කී පරිදි අපට එවන් නිදහසක් නොමැත. අපේ රට මිරීකි සිටින ණය බරට රට සින්න වෙන යුගයක , වේගයෙන් ධනය උත්පාදනය කිරීම විනා අපිට විසඳුමක් නොවේ. එබැවින් අප සිරවී සිටින ආර්ථික අර්බුදයට විසඳුම ඔබගේ දේශපාලන ආර්ථික ක්රමය තුලින් නිර්මාණය විය යුතුය. හිඟන්නාට උණු බත් කෑමට නොහැක්කා සේ, අපේ වුවමනාවට සියල්ල සිදු නොවේ. අපිට ඒ වෙනුවෙන් කැප කිරීම් කිරීමට සිදු වේවි. එබැවින් මා රට තුල ධනය උත්පාදනය කිරීමට හැකි බලවත්ම එන්ජිම ගැන විශ්වාස කරමි. එවිට ප්රායෝගික වන්නේ ඔබලා ලියූ විවෘත ආර්ථිකයට දෙස් තියන ලියවිල්ල නොව, ධනය උත්පාදනය කිරීම බව ඔබට පසක් වේවි.
ඔබලාගේ ආර්ථික ප්රතිපත්ති මාලාව තුල නැත්තේම ඔබලා දකින සමාජවාදයට නැඹුරු වෙළඳපොළ ආර්ථිකය කාර්යක්ෂමව ක්රියාත්මක කිරීමට සුදුසු පරිසරය නිර්මාණය කිරීමට රාජ්ය සතු වගකීම ඔබලා අවබෝධ කර ගෙන නොසිටීමයි.
වැදගත් වන්නේ සංකල්පය ද ආර්ථික මොඩලය ද නොව එය ක්රියාත්මක කිරීමෙන් රටේ ඇති ප්රශ්නය විසඳෙනවා දැයි යන්නයි.
සමාජවාදය යනු ඉතා හොඳ ජීවන ක්රමයක් බව මා පිළිගනිමි. නමුත් එය මූලික මිනිස් ස්වභාවයන්ට පටහැනි බවත් එය දේශපාලනයට ගෙන ඒම මිනිසා කර ගත් වැරැද්දක් බවත් ප්රකාශ කරමින් නිහඬ වෙමි.
ස්තුතියි
පැතුම් කර්නර්