Edit Content

About Us

We must explain to you how all seds this mistakens idea off denouncing pleasures and praising pain was born and I will give you a completed accounts off the system and expound.

Contact Us

Long term Policies
දිගුකාලීන ප්‍රතිපත්ති

රටක් ගොඩ නැගෙන්නේ විද්‍යාත්මකව තෝරා ගත් ප්‍රායෝගික හා නිවැරදි ප්‍රතිපත්ති සමූහයක් වෙහෙසක් දරා ක්‍රියාත්මක කරවීමෙනි. එම ප්‍රතිපත්ති නුතන ගෝලීය ශිෂ්ඨාචාරයේ දේශපාලන හා ආර්ථික සංකල්ප තුල පොදු සම්මතය හා එකඟ වන, ඒ තුලින් තරඟකාරීව අප රටට ශක්තිමත් අඩිතාලමක් දමන්නක් ද ගෝලීය වෙළඳපොළ ආර්ථිකය හා මුහු කිරීමට පහසු වන්නක් ද  විය යුතුය. 

හරිත දේශපාලන මතවාදය

ජනාවාසකරණය

අධ්‍යාපනය

ප්‍රවාහනය

සෞඛ්‍යය

කෘෂි කර්මාන්ත

පරිසරය

වංචා දූෂණ වැළැක්වීම

රාජ්‍ය සේවකයන් අඩුකිරීම

රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ

විදේශ

බලශක්තිය

ආර්ථීකය

නූතන අර්බුදය සහ එතෙර වීම

Long term Policies

දිගුකාලීන ප්‍රතිපත්ති

රටක් ගොඩ නැගෙන්නේ විද්‍යාත්මකව තෝරා ගත් ප්‍රායෝගික හා නිවැරදි ප්‍රතිපත්ති සමූහයක් වෙහෙසක් දරා ක්‍රියාත්මක කරවීමෙනි. එම ප්‍රතිපත්ති නුතන ගෝලීය ශිෂ්ඨාචාරයේ දේශපාලන හා ආර්ථික සංකල්ප තුල පොදු සම්මතය හා එකඟ වන, ඒ තුලින් තරඟකාරීව අප රටට ශක්තිමත් අඩිතාලමක් දමන්නක් ද ගෝලීය වෙළඳපොළ ආර්ථිකය හා මුහු කිරීමට පහසු වන්නක් ද  විය යුතුය

එසේම එම ප්‍රතිපත්තීන් රටේ සැබෑ ප්‍රශ්න හඳුනා ගෙන ඒවාට වඩාත් සුදුසු විසඳුම් නිර්මාණය කිරීමට මාධ්‍යක් විය යුතුය. ඒවා රටේ වත්මන් අර්බුදයට පිළියම් සොයන්නක් පමණක් නොව අර්බුදයේ නිධන්ගත දේශපාලන ක්‍රමය වෙනුවට  යාවත්කාලීන වූ අනාගතයට සරිලන අලුත් දේශපාලන ක්‍රමයක් නිර්මාණය කරන්නක් විය යුතුය. 

ශ්‍රී ලංකාව ස්වෛරීය ජාතියක් ලෙස මේ පසු කරමින් සිටින්නේ ඇයගේ ඉතිහාසය තුල තවත් එක ඓතිහාසික මංසන්ධියකි. ඉතිහාසයේ කලින් කල පැමිණියා මෙන්ම යලිත් අපි පවතින දේශපාලන ක්‍රමයකින් නික්ම අලුත් ක්‍රමයකට ගමන් කරන මේ මංසන්ධිය මේ රටේ ජීවත් වන කාගෙත් අනාගතය තීරණය කරන්නකි. පවතින ක්‍රමය කඩා වැටෙන කාල වලදී ඒ රට ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් තුලින් ගමන් කල යුතු වෙයි. ඒය රාජ්‍යය ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වයකට පත් කර වන අතර එයට ප්‍රතික්‍රියාවක් ලෙස ඇති වන ජනතා නැගිටීමක් මගීන් පවතින ක්‍රමය ප්‍රතික්ෂේප කර අලුත් ක්‍රමයක් සඳහා මාර්ගය සකසයි. 

රට හදන හරි පාර ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන

ඔබේ අදහස් යොමු කරන්න

දිගුකාලීන ප්‍රතිපත්ති

ඒ ජනතා නැගීටීම ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම අවිහිංසාවාදී හා සාමකාමී නම්, මේ දේශපාලන ක්‍රමයේ පරිවර්තනය ඉතා ඉක්මනින් කාර්‍යක්ෂම ලෙස සිදු කර ගත හැකිය. ඔබ ශ්‍රී ලංකාවේ මේ අත් විඳිමින් සිටින්නේ මේ පරිවර්තනයයි. ජනතා නැගිටීම ප්‍රභල වී පාලකයන් අභිබවා ගොස් ඓතිහාසික මහා අරගලයක් සිදු වන මේ කාලය කලබල කාරී විය හැකිය. ආර්ථික හානි මෙන්ම මිනිසුන්ගේ ජීවත් වීමේ මානව අයිතීන් උල්ලංඝනය වන මේ සමයට අප ධෛර්යමත්ව මුහුණ දිය යුතුය. ඒ අමාරු කාලයට මුහුණ දෙන ගමන්, ජනතාව ලෙස අප විසින් සිදු කල යුතු වැදගත්ම කාර්‍යභාරය නම් මේ අර්බුදය තුලින් පන්නරය ලැබූ අලුත් නායකයන් සහ දේශපාලන කණ්ඩායම් බිහි කිරීම ය. ඒ අලුත් නායකයෝ මේ දුෂ්කර කාලය තුලින් රට ගෙනයාමට දක්ෂයෝ විය යුතුය. ඔවුන් අලුත් දේශපාලන ක්‍රමය නිර්මාණය කරන දැක්මක් ඇති නිර්මාණශීලි පෙරගමන් කරුවෝ විය යුතුය. 

එවන් නායකයන් රටේ ප්‍රශ්නය හඳුනාගෙන ඒවාට ස්ථිර සාර , ප්‍රායෝගික, දීර්ඝකාලීන විසඳුම් ඉදිරිපත් කරයි. ඒ විසඳුම්, ප්‍රතිසංස්කරණ සහ යෝජනා මහ ජනතාවට ඉදිරිපත් කිරීම ඔවුන්ගේ වගකීමක් වෙයි. එම විසඳුම් වලට ජනතාව එකඟ නම්, එම නායකයන් සමග එක්ව රට ඉදිරියට ගෙන යෑමට ජනතාවගේ ආශිර්වාදය ලබා ගත හැකිය. 

අප මේ ලියා තැබීමට උත්සහ කරන්නේ අප දකින ඒ විසඳුම් මාලාවයි. එම විසඳුම් රටේ සැබෑ ප්‍රශ්නය ආමන්ත්‍රණය කල යුතු අතර, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර , රටේ පවතින වත්මන් අර්බුදයෙන් එය මුදවා, ඉන් ඔබ්බට සංවර්ධනය තෙක් රට රැගෙන යෑමට සමත් විය යුතුය. එය හුදෙක් රටේ ප්‍රශ්න පමණක් නොව ලෝකයේ අනාගත අභියෝග වලටද පිලිතුරු අන්තර්ගත් වූවක් විය යුතුය. තිරසාර පැවැත්ම , දේශගුණික  විපර්යාස , තාක්ෂණික පුනරුදය, ගෝලීය බලතුලනය, ආදී රාජ්‍යයේ පැවැත්මට අන්තර්ජාතිකව, ගෝලීයව බලපවත්වන අභියෝගයන් ද සැළකිල්ලට ගනිමින් නිර්මාණය කර වූවක් විය යුතුය. 

තිරසාර සංවර්ධනය ද පාරිසරික විඥානය ද කැටි කොට, නූතන ගෝලීය ශිෂ්ඨාචාරය සමග ශ්‍රී ලංකාව සාර්ථකව මුහු කිරීමත් එමගින් ධනය උත්පාදනය කරගෙන ලෝකයේ සාර්ථක රාජ්‍යයක් ලෙස නුදුරු අනාගතයේදී ගෞරවය දිනා ගැනීමටත් අරමුණු කර ගෙන අප මේ විසඳුම් ලියැවිල්ල ඔබට ඉදිරිපත් කරන්නෙමු. එය බහුජන සහභාගීත්වයෙන් නිර්මාණය කොට, බහුතර ජනතාවට ගෝචර වන අයුරින් සරළ බසින්, භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කොට මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු. 'මේ රට හදන්න පුළුවන්' යැයි දැඩි විශ්වාසයෙන් යුතුව, එය සාර්ථක කර ගැනීමේ ගමන් මග, අලුත් ශ්‍රී ලංකා රාජ්‍ය නිර්මාණය කර ගැනීමේ නැවුම් සිහිනයක් දකිමින්, ශ්‍රී ලාංකික ඔබේ අවදානයට මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

හරිත දේශපාලන මතවාදය සහ දළ දේශීය සතුට

අධිවේගයෙන් සිදු වන නූතන මානව සමාජ පරිවර්තනය විසින් ගෝලීය ශිෂ්ඨාචාරය මෙතෙක් අත් නුදුටු අර්බුද රැසකට තල්ලු කර තිබේ. ස්වාභාවික වරණයෙන් නික්ම වර්ධනය වන මිනිස් ගහණයත් ඔහු විසින් ලෝකයේ වූ සීමිත සම්පත් වලින් සංසිඳුවා ගැනීමට උත්සහ කරන අසීමිත අවශ්‍යතාවයනුත් එක්ව ඇති කර ඇති පාරිසරික අර්බුදය ඉන් ප්‍රධාන වේ. එම විනාශයේ ආරම්භය මීට ශතවර්ෂ තුනකට පෙර සිදු වූවත් වත්මන් මිනිසා විසින් එම අර්බුදය ඔතේරුම් ගෙන තිබීම පිළිබඳව අප සතුටු විය යුතුය. මේ වන විටත් පරිසරයේ ඇති වී තිබෙන පාරිසරික වෙනස් කම් මිනිසාගේම පැවැත්මට තර්ජනයක් වී තිබේ. එනයින් එම පාරිසරික සාධන හඳුනා ගෙන අනාගත රාජ්‍යයන් සිය පරිපාලනය සකස් කර ගැනීම සියළු මානව සමාජයන්ගේ සුබ සිද්ධියට හේතු වේ. එම නිසා පරිසරය පිළිබඳව යහපත් දැක්මක්, විඥානයක් රාජ්‍ය යාන්ත්‍රණය තුල අන්තර්ගත වී තිබීම නූතන දේශපාලන දැක්මක අත්‍යාවශ්‍ය සාධකයක් වෙයි. 

 

ඒ නිසාවෙන්ම ලෝකයේ ඇති නැඹුරුවකින් නිර්මාණය වූ හරිත දේශපාලන මතවාදයක් පසු ගිය දශක කීපයක සිට ගෝලීය දේශපාලනයට එක් වී තිබේ. එම ගෝලීය හරිත දේශපාලන ව්‍යාපාරය මගීන් පිළිගත් විද්‍යාත්මක දේශපාලන ප්‍රතිපත්තීන් ගොන්න අපගේ රට හදන වැඩපිළිවෙළ තුල අන්තර්ගත කර තිබීම ඉතා අත්‍යාවශ්‍ය සාධකයක් බව අපි විශ්වාස කරන්නෙමු. ජාතික හරිත පෙරමුණ බිහි වන්නේ ද හරිත දේශපාලනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම වෙනුවෙනි. ඒ අප ද නූතන ලෝකය මුහුණ දෙන අධික ජන ගහන වර්ධනය , දේශගුණික විපර්යාස ආදී අභියෝග වලට මුහුණ දීමට විසඳුම් රට කරවන දේශපාලන ක්‍රමය තුලින්ම නිර්මාණය කර ගත යුතු බැවින් අපි අපේ රට හදන වැඩපිළිවෙළ එම හරිත ප්‍රතිපත්තීන් මත රඳා පවතිමින් නිර්මාණය කර ඇත්තෙමු. එම හරිත ප්‍රතිපත්තීන් පහත අයුරින් දැක්විය හැකිය. 

  • සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය
  • සමාජ සාධාරණත්වය
    අවිහිංසාවාදය
  • විවිධත්වයට ගරු කිරීම
  • තිරසාර පැවැත්ම
  • පාරිසරික විඥානය

අප මේ ඉදිරිපත් කරන රට හදන දැක්ම තුල මේ හරිත දේශපාලන මතවාදය අන්තර්ගත කිරීමට අප කටයුතු කර ඇත්තෙමු. එම හරිත දේශපාලන මතවාදයත්, තිරසාර සංවර්ධන ඉලක්කත් මුහු වූ විට වඩා සාර්ථක පාරිසරික ආරක්ෂණයක් අනාගතය තුල තහවුරු කරනු ඇත. 

රටක් සංවර්ධනය කිරීමෙන් අපි අවසානයේ බලාපොරොත්තු වන්නේ ඒ රටේ සිටින ජනතාවගේ ජීවිත වල ගුණාත්මකභාවය සහ සතුට වැඩි කිරීමටයි. එසේ ජනතාවගේ සමස්ථ සතුට ගණනය කල හැක හෞතිකයක් නොවූවත්, එය රටේ සංවර්ධනය මැනිය හැකි දාර්ශනික මිම්මක් බව භූතානය විසින් ලෝකයට හඳුන්වා දුන්නේ 1972 දී ය. එතැන් පටන් එම සංකල්පය ලෝකය තුල විවිධ සාකාච්ඡාවන්ට බඳුන්ව වසර 2008 දී භූතාන රාජ්‍යයේ ව්‍යවස්ථාවට පවා එක් කිරීමට කටයුතු කරන ලදී. එම මැනීම වෙනුවෙන් යොදා ගනු ලබන ප්‍රධාන සාධක හතර වන ආර්ථික සංවර්ධනයත්, යහපත් රාජ්‍ය පරිපාලනයත්, පරිසරයේ පැවැත්මත්, සංස්කෘතියේ පැවැත්මත් යන කරුණු මූලික කර ගෙන ගොඩ නගා ඇති දර්ශකයක් වන මෙය අප ජීවිත වල ගැඹුරේ ඇති මානුෂීය අවශ්‍යතාවය යැයි අප විශ්වාස කරන්නෙමු. එනයින් ජාතික හරිත පෙරමුණ විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිර්මාණය කිරීමට යොදා ගනු ලබන සංකල්ප අතර දළ දේශීය සතුට දර්ශකයටත් ප්‍රධාන තැනක් ලබා දෙන්නෙමු. අප තෝරා ගන්නා ප්‍රතිපත්තීන් තුල ශ්‍රී ලාංකික ඔබගේ දළ දේශීය සතුට ඉහළ දැමීම ඉලක්ක කර ගැනීම සිදු කරන්නෙමු.

ජනාවාසකරණය

ශ්‍රී ලංකාව සතුව වර්ග කිලෝමීටර් 65610 ක ඉඩම් සම්පතක් වන අතර මිලියන 22ක මුළු ජනගහනයක් ජීවත් වන මෙහි ජන ඝනත්වය එක් වර්ග කිලෝමීටරයකට මිනිසුන් 341 කි. ඉන්දියානු සාගරයේ මැදට වන්නට පිහිටි ආර්ථික කලාප 7 කට ද මහද්වීප 4 කට ද මැදිව පිහිටි මෙම කුඩා දූපත වර්තමානය වන විට ලෝක භූ දේශපාලනයේ වැදගත්ම භූමි කොටසක් බවට පත්ව තිබේ. 

 

ගොඩනැගී ගෙන එන මීළඟ ලෝක බලවතා වන චීනයේ , නූතන සේද මාවත බඳු Belt and Road Initiative හි ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ඔවුන් විසින් මැදිහත්ව ගොඩ නගා ගෙන ඇති ආර්ථික කලාපයේ ප්‍රධාන නැව් මාර්ගයට මායිම්ව ශ්‍රි ලංකාව පිහිටා තිබීම අප සතුව ඇති ප්‍රධානම ආර්ථික ශක්තියයි. එනම්, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ශක්තීන් අතර ප්‍රභලම සාධකය නම් අප සතු භූමියේ ගෝලීය පිහිටීමයි. එලෙසම වේගයෙන් සංවර්ධනය වෙන තවන් අනාගත ලෝක ප්‍රභලයෙකු වන ඉන්දියාව අපේ අසල්වැසියා වීමත්, එම නිසා ඉන්දීය වෙළඳපොළ මගීන් අපිට ලබ ගත හැකි ප්‍රතිලාභ නිසාත් මේ පිහිටීමේම තවත් ලාභයකි. 

 

මේ ගෝලීය පිහිටීමේ වැදගත්කම අවබෝධ කර ගත් විට , එමගින් අපට ලැබී ඇති ශක්තිය තවත් වර්ධනය වන ආකාරයට ලෝක ආර්ථිකය තුල ශ්‍රී ලංකාව ස්ථාන ගත කල යුතු ආකාරය පිළිබඳව අපට කියවා ගත හැකිය. එබැවින් අප සතු මේ කුඩා භූමිය නිවැරදිව කළමනාකරණය කර ගැනීම අප කල යුතු මුල්ම කාර්‍යයයි. 

 

ඉඩමක් සංවර්ධනය කර නිවසක් සෑදීමට හොඳ සැළසුමක් අවශ්‍ය වන්නා සේම, රටක් ඉදිරියට යෑමටත් දීර්ඝකාලීන දැක්මකට අනුව සැළසුම් කරන ලද සැළසුමක් අපට අවශ්‍යය. නගරයක් නිර්මාණය කිරීමට ආසන්නව වසර 20ක් වත් ගත විය හැකි බැවින්, යම් රටක යටිතල පහසුකම් ආදිය ඒ ඒ අනාගත අවශ්‍යතාවයන්ට අනුව සකස් කිරීමට අපට ප්‍රධාන සැළසුමක් අවශ්‍ය වෙයි. ලෝකය මෙන්ම, ලෝක ආර්ථිකයද වේගයෙන් වෙනස් වන විට එයට අනුවර්තනය වන මිනිසුන් ද අවශ්‍යතාවයන් වෙනස් වී යා හැකිය. රටක සැළසුම් තිබිය යුත්තේ මේ මිනිස් හා ආර්ථික අවශ්‍යතාවයන් හැකි තාක් දීර්ඝව අනාගතය දෙසට ප්‍රක්ෂේපණය කර එයට ගැලපෙන ලෙස රට නිර්මාණය කර ගැනීමෙනි. 

 

ඒ අනුව අපි රටට ගැලපෙන, වසර 25ක් පමණ ඉදිරියට දිවෙන නිර්මාණශීලි භූමි සැළසුමක් සකස් කර ගත යුත්තේ ය. එය රටේ අනාගත ආර්ථික අවශ්‍යතාවයන් ඉටු වන, ලෝක ආර්ථිකය තුල හොඳින් ස්ථාන ගත වෙන, නම්‍යශ්‍රීලී , දීර්ඝකාලීන සැළස්මකි. අපි එයට Blueprint එකක් යැයි කියන්නෙමු. අපි අපේ රටට ගැලපෙන Blueprint එකක් නිර්මාණය කර ගැනිම රට හදන ප්‍රතිපත්තියක මූලික කරුණක් සේ දකින්නෙමු. 

රටක භූමිය අපි මූලිකව කොටස් 4කට බෙදා වෙන් කර ගනිමු.

ජනාවාසකරණය

මේ ඉඩම් වර්ග කර ගැනීම විද්‍යාත්මකව ගණනය කළ ක්‍රම වේදයක් ඔස්සේ සිදු කල යුතුය. එම ගණනය කර ගැනීම වත්මන් සංඛයා දත්ත වලට අනුව, ඉදිරි වසර 30 කාලයකට තොරතුරු  ප්‍රක්ෂේපණය කොට, ඒ කාලය තුල තාක්ෂණයේ, ආර්ථිකයේ සහ සමාජයේ සිදු වන වෙනස් කම් නිවැරදිව උපකල්පනය කොට සකස් කල යුතුය. 

වර්තමානය වන විට රට තුල ජනාවාස වීම සිදුව ඇත්තේ අක්‍රමවත් ආකාරයකට ය. එය හුදෙක් මධ්‍ය ගත සැළසුමකින් තොරව, අතීතයේ පටන් ගලා ආ සාමාන්‍ය මිනිස් අවශ්‍යතාවයන් අනුව, තනිව තනි පුද්ගල හා වෙළඳ අවශ්‍යතාවයන් මත සකස් වූවකි. ඒවා සමස්ථයක් ලෙස ගත් කල සමාජයට ලබා දෙන ප්‍රතිලාභ ප්‍රමාණවත් නැත; එනම්,  අකාර්යක්ෂම ය. එබැවින් මේ ජනාවාස හා නගර සැළසුම් ජාතික සැළසුමක් ඔස්සේ ගොඩ නැගිය යුතුය. 

එලෙසම රටේ නූතන ආර්ථික අවශ්‍යතාවය වන්නේ කාර්මික නිශ්පාදන ආර්ථිකයකට යොමු වීමයි. එනයින්, රටේ භූමියද , යටිතල පහසුකම් ද එම කර්මාන්ත ඉලක්ක කර ගෙනන්ගොඩ නැංවීම කල යුතුය. කාර්මික ප්‍රදේශ වෙන්කොට හඳුනා ගෙන ඒවා ජාතික සැළසුමක් තුලට අන්තර් ගත කිරීමෙන් රට තුල ඇති අනාගත ආර්ථික ප්‍රතිපත්තියකට විශාල රුකුලක් ලැබෙන අතර, එය ආයෝජකයන්ට වගේම ව්‍යවසායකයන්ට රාජය විසින් ලබා දෙන ශක්තිමත් පදනමකි. 

අපේ රටේ භූමිය සමස්ථ ශ්‍රීලාකිකයන්ට අවශ්‍ය සියළු ආහාර නිපදවා ගැනීමට ප්‍රමාණවත් නොවුනත්, රටේ ආහාර සුරක්ෂිතභාවය රැකෙන අයුරින් කෘෂි කර්මාන්තය සැළසුම් කොට, නාව්‍යකරණය කර, රටට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය වෙන් කොට තැබීම යුගයේ අවශ්‍යතාවයකි. එවිට රටේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් වෙන්කොට ඇති භූමිය හඳුනා ගැනීමත්, ඒවායේ කාර්‍යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට වාරිකර්මාන්ත ආදිය සැළසුම් කිරීමත් සිදු කර ගත හැකිය. 

අනෙක් වැදගත්ම සාධකය නම් ස්වාභාවික වනාන්තර ප්‍රමාණය හඳුනා ගෙන ඒවාට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමයි. දැනට පවතින භූමියෙන් 28% වන වනාන්තර ප්‍රමාණය අනාගතයට ප්‍රමාණවත් දැයි අපි ප්‍රශ්නකල යුතුය. දේශගුණික විපර්යාස වලට මග හරවා ගැනීමටත්, ජල සුරක්ෂිතභාවය රැකීමටත්, වන සත්ත්ව ගහණයේ විවිධත්වය පවත්වා ගැනීමටත් අපට කෙතරම් වනාන්තර ප්‍රමාණයක් අවශ්‍ය දැයි ගණනය කිරීමට ලක් කොට එම වනාන්තර ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම පිණිස භූමි සැලැස්මෙන් නියමිත  කොටස වෙන් කල යුතුය.

මේ ප්‍රධාන කොටස් 4 තුල රටේ භූමිය වර්ග කොට, විද්‍යාත්මක පදනමක් මත වෙන් කර ගත් විට ඒ ඔස්සේ යමින් රට ගොඩ නැගීම කර ගත හැකිය. එවිට වසර 30 කින් සැළසුමේ ආකාරයට ගොඩනැගුණු සාර්ථක රටක් අපිට හිමි කර ගත හැකිය.

අධ්‍යාපනය

රටක අධ්‍යාපනය යනු ඒ රටේ වැදගත්ම ආර්ථික ප්‍රතිපත්තිය බව පිළිගත් කියමනකි. ඒ මක්නිසාදයත් රටක් සතු වටිනාම සම්පත වන්නේ ඒ රටේ පුරවැසියන් නිසාත්, ඒ පුරවැසියන් දියුණු මානව සම්පතක් බවට පත් කළ හැක්කේ නිවැරැදි අධ්‍යාපනයකින් බවත් සරළව තේරුම්ගත හැකි නිසා ය. 

 

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් තහවුරු කෙරෙන ගෝලීය ප්‍රවණතාවයන්ට හැඩගැසුණු යාවත්කාලීන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරමුණයි. 

 

රාජ්‍ය අංශය හරහා වඩා තරඟකාරී ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමත් අවශ්‍ය ඕනෑම අයෙකුට පුද්ගලික අංශයේ අධ්‍යාපනය ලබාගැනීමට ඇති අවස්ථා තහවුරු කිරීමත් මෙයින් සිදුවේ. 

 

නුතන ශ්‍රී ලාංකික පවුලක් සිය දරුවන්ගේ අධ්‍යාපනයට විශාල ප්‍රමුඛතාවක් ලබා දේ. ඒ, මේ පවතින සමාජ ක්‍රමය තුළ ගෞරවය ලබාගත හැකි, ආර්ථිකව ඉහළ නැගිය හැකි, සමාජ තත්ත්වය දියුණුකර ගතහැකි පහසුම ක්‍රමය අධ්‍යාපනය නම් මාර්ගය ඔස්සේ වැටී තිබෙන නිසා ය. මෙරට පුරවැසියන් රටේ නිදහස් අධ්‍යාපනයක් පවත්වා ගෙන යෑමට බදු ගෙවන්නෝ ය. එම බදු යොදා ගනිමින් පැවති රජයන් විසින් මහජනතාව වෙනුවෙන් පොදු අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කර පවත්වාගෙන යති. අපි පොදුවේ නිදහස් අධ්‍යාපනය යැයි හඳුන්වන මෙයල තවමත් පවතින පිළිගත් අධ්‍යාපන ක්‍රමයයි. එහි ප්‍රතිපත්ති නිර්මාණය කිරීම හා එම සේවය පවත්වාගෙන යෑමේ සම්පූර්ණ වගකීම රජය විසින් දරණ අතර, ඒ රාජ්‍ය මූලික අධ්‍යාපන ක්‍රමයෙන් ස්වායක්ත වූ පුද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයක් ද රට තුළ බිහිවී ඇත්තේ ය. එම පුද්ගලික අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම විහිදී යයි. 

 

මේ රටේ වත්මන් මානව සම්පත නිර්මාණය වන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ය. එම මානව සම්පතේ ගුණාත්මකභාවය පිළිබඳව පාසල් දරුවන්, ගුරුවරුන්, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිටින්නන් මෙන්ම පොදු මහජනතාවගේද ප්‍රමාණවත් පැහැදීමක් නොමැත. එමගින් නුතන ලෝකයට ගැළපෙන දක්‍ෂ පුරවැසියෙකු නිර්මාණය කරනවා ද යන්න විමර්ශනය කිරීමේ දී එයට ලැබෙන පිළිතුර සතුටුදායක නොවන්නකි. එනයින් අප විසින් යාවත්කාලීන වූ නිවැරදි වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා දීම නොපිරිහෙළා කළ යුත්තකි. 

 

ගෝලීයව පිළිගත් තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති මාලාවට අනුව යමින් , එහි හතර වන (SGD 4) ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය වෙනුවෙන් සකස් වූ කරුණු මුල්කර ගනිමින් සහ හරිත දේශපාලන සංකල්ප වලට එකඟව යමින් අපි අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන්නෙමු. ඒ අනුව රටේ සියළුම පුරවැසියන්ට, සමාන අවස්ථාවකින් ලබා ගත හැකි ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමටත්, ජීවිත කාලය පුරා අවශ්‍ය ඕනෑම මොහොතක අධ්‍යාපනයේ නියැලීමට අවකාශය නිර්මාණය කිරීමටත් අප වග වන්නෙමු.

 

අධ්‍යාපනය පහත පරිදි කොටස් කිහිපයක් යටතේ හඳුනා ගනී

අධ්‍යාපනය

විශේෂ අධ්‍යාපන අවස්ථා -

විදෙස් සිසුන් හට ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කෙරෙන අතර ඉහළ ශ්‍රේණියේ අන්තර්ජාතිකව පිළිගත් විශ්වවිද්‍යාල සඳහා මෙරට තුළ ආයෝජන අවස්ථා පුළුල් කෙරෙනු ඇත. 

මෙරට සිසුන්හට විදෙස් විශ්වවිද්‍යාල වෙත ප්‍රවේශ වීමේ අවස්ථා ශිෂ්‍ය හුවමාරු ක්‍රමය යටතේ පුළුල් කිරීම සිදුවේ.

ගුරු පුහුණුව -

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේදී සලකාබැලෙන අතර බඳවා ගැනීමෙන් පසු ක්‍රමිකව විදෙස් පුහුණු ලබා දීමට කටයුතු කරනු ඇත. ඒ තුළින් යාවත්කාලීන ගුණාත්මක අධ්‍යාපනයක් අනාගත පරපුර වෙත දායාද කිරීමේ හැකියාව හිමිවේ.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා ඵලදායීතාව ඉහළ නැංවීම උදෙසා මනෝවිද්‍යාත්මක සංකල්ප භාවිත කිරීම -

මනෝවිද්‍යාව යන විෂයේ එක් කාණ්ඩයක් වන අධ්‍යාපන මනෝවිද්‍යාව මඟින් දරුවන්ගේ ඉගෙනීම, පෞරුෂ සංවර්ධනය, චිත්තවේගී යහපැවැත්ම  පිළිබඳව අවධානය යොමුකරයි. 

මෙහිදී ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතීයික අධ්‍යාපනය ලබන දරුවන් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබයි. 

ප්‍රායෝගිකව පාසල්  ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ක්‍රියාත්මක කළ හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම, දරුවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කරන පරිසරයක් නිර්මාණය කිරීමට ගුරුවරුන් සහ දෙමාපියන්ගේ දායකත්වය ලබාගැනීම, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා එකඟ වූ ක්‍රියාපටිපාටියක් ද නිර්මාණය කිරීම සිදුවේ.

සාමාන්‍ය විභාග පාදක ක්‍රමයෙන් ව්‍යුත්පන්නව ඇගයීම් පාදක කරගත් හැකියාවන් වර්ධනය කිරීමේ ක්‍රමවේදයන්ට මූලිකත්වය ලබා දේ.

ප්‍රවාහනය

රටක ආර්ථිකය යනු එම රටේ ගොඩනැගෙන සම්පත් ජනතාව අතර බෙදා ගැනීමේ යාන්ත්‍රණය නම්, එම යාන්ත්‍රණයේ මූලික පදනම වැටෙනුයේ රටේ ප්‍රවාහන පද්ධතිය ඔස්සේ ය. පුරවැසියාට සිය ගමන් බිමන් යෑමේ පහසුව මෙන්ම රටේ නිෂ්පාදනයවන භාණ්ඩ හා සේවා බෙදා හැරීමේ යාන්ත්‍රණය සුරක්ෂිත කිරීම, පහසු කරවීම හා කාර්යක්‍ෂම කරවීම රජයක මූලික වගකීමක් සේ සැළකිය හැකිය. එබැවින් රටේ ප්‍රවාහන පද්ධතිය යනු රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය කළමනාකරණය සහ රාජ්‍ය නියාමනය සහිතව ක්‍රියාත්මක විය යුතු පොදු අවශ්‍යතාවයකි.

විශේෂයෙන් ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයකට ලක් වෙමින් පවතින යුගයකට අප පැමිණ සිටී. ලෝකය යළිත් වරක් බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවන විශාල පරිවර්තනයකට මුහුණ දෙමින් පොසිල ඉන්ධන වලින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභේදවලට අනුගතවන මේ යුගය ප්‍රවාහන ක්ෂේත්‍රයේ රාජ්‍ය මැදිහත්වීම වඩාත් මැනවින් විද්‍යාත්මකව සකස් විය යුතු මංසන්ධියක අප සිටින්නෙමු. එනයින් ඒ වැදගත් මංසන්ධිය නිසි ලෙස කළමනාකරණය කළහැකි හරිත දැක්මක් රාජ්‍ය පරිපාලනය තුළ පැවතීම අත්‍යාවශ්‍ය බව අප විශ්වාස කරන්නෙමු. ඒ ගෝලීය පරිවර්තනය පෙරදැරි කරගෙන, තිරසාර සංවර්ධනයකට අවශ්‍ය පදනම දමා ගනිමින්, ශ්‍රී ලංකාව ලෝකයේ තවත් සාර්ථක රටක් ලෙස  ගොඩනැගීමට යන ආර්ථික ක්‍රියාවලියකට ගැළපෙන අයුරින් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය සකස් කරගැනීම අප දකින රට හදන සැළසුමක මූලික අංගයකි. එනයින් අප දකින අලු ත් ශ්‍රී ලංකාවක ප්‍රවාහනය කෙසේ සකස් වියයුතු දැයි ඔබට මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම අභ්‍යන්තර ප්‍රවාහන මාධ්‍ය නම් ගොඩබිම් ප්‍රවාහනයයි. අප රටේ ජල ප්‍රවාහනය සිදු නොවන තරම් කුඩා එකකි. පැවැති සිවිල් යුද්ධය නිසා ද අඩු ආදායම්ලාභි රටක් වීම නිසා ද දේශීය සිවිල් ගුවන් සේවා ද සිදු වනුයේ ඉතා කුඩා මට්ටමෙනි. එනයින් අපේ දැක්ම තුළින් මූලික ලෙස ගොඩබිම් ප්‍රවාහනයට අවධානය යොමු කෙරේ. 

 

 

සෞඛ්‍යය

රටක රජයක් විසින් එහි ජනතාවට සැලසිය යුතු ප්‍රධාන ම සේවයක් ලෙස සෞඛ්‍යය සේවාව හැඳින්විය හැකිය. පුරවැසියන් හට ගුණාත්මක ජීවිතයක් උරුම කර දීමටත්, පුරවැසියන්ගේ ජීවිත සුවයෙන් තැබීමටත් රටක කොඳු නාරටිය බඳු සෞඛ්‍යය සේවය මගින් ඉටුකළ යුතු සේවාව
අතිමහත් ය. එබැවින් සියලුම සාර්ථක රටවල අතිසාර්ථක සෞඛ්‍යය සේවයක් දක්නට ලැබෙන අතර, රටේ සාර්ථකත්වයත් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ දියුණුවත් එකිනෙකට සමාන්තරව ගමන් කරනු අපට දක්නට ලැබෙයි.

නිසි පෝෂණයෙන් යුක්ත, රෝගාබාධවලින් වියුක්ත, ශක්තිමත් අනාගත පරපුරක් මෙන්ම ශ්‍රම බලකායක් නිර්මාණය කර ගැනීමත්, විශ්‍රාමික පරම්පරාවට සිය බලාපොරොත්තු මුදුන් පමුණුවාගෙන ජීවිතයේ සැඳෑ සමයේ සුන්දර විශ්‍රාම දිවියක් ගත කිරීමට රුකුලක් වීමත්, උපදින දරු පරම්පරාවට නූතන ලෝකයේ සුරක්ෂිතම සෞඛ්‍යය සේවයක් උරුම කර දීමත් අරමුණු කරගෙන රටක සෞඛ්‍යය ප්‍රතිපත්තිය හැසිරවීමට අපි
බලාපොරොත්තු වන්නෙමු.

ලෝකයේ සංවර්ධනය මනින එක මිම්මක් වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ රටවල් 191 කින් 73 වන ස්ථානයේ ය. එහි ප්‍රධාන අංගයක් වන පුරවැසියන්ගේ සෞඛ්‍යය තත්ත්වය මෙහිදී මැනෙන අතර අප වැනි අඩු අදායම් රටකට එය බෙහෙවින් සතුටු විය හැකි තත්වයකි. එහෙත් එසේ වූව ද අප තවමත් ශ්‍රී ලාංකීය පුරවැසියන් හට තෘප්තිමත් විය හැකි
සෞඛ්‍යය පහසුකම් සලසනවා දැයි ප්‍රශ්න කළ විට අපිට ලෙහෙසියෙන්ම තවමත් අපි ගැන තෘප්තිමත් නොවන බව තහවුරු වනු ඇත. අප මේ රට දියුණු කර සාර්ථක රටක් බවට පත් කරයි නම්, එහි සෞඛ්‍යය සේවාව ද එයට සාපේක්ෂව වෙනස් කර දියුණු කළ යුතු බව ඔබට පසක්වනු ඇත.

එනයින් ජාතික හරිත පෙරමුණ ලෙස අපි දකින සාර්ථක ශ්‍රී ලංකාවේ පුරවැසියන් හට ලෝක සම්මතයෙන් පිළිගැණුන, තාක්ෂණයෙන් දියුණු, උසස් ගණයේ සෞඛ්‍යය සේවාවක් ලබා දීමට අප සිහින දකින්නෙමු.

 

සෞඛ්‍යය සේවාවේ දියුණුවට ප්‍රතිසංස්කරණය කළ යුතු අනෙකුත් රාජ්‍ය සේවා.

 

අතිශයින් ම අකාර්යක්‍ෂම ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය පරිපාලනය තුළ තවත් එක කොටසක් වන සෞඛ්‍යය සේවය වැඩිදියුණු කිරීමට නම් සෞඛ්‍යය සේවයට පිටතින් ඇති තවත් සේවා දෙකක් ප්‍රතිසංස්කරණය කොට කාර්යක්‍ෂම කළ යුතුය. ඒවා නම්,

  1. අධිකරණය සහ නීතිය
  2. රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය

රටක සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතාව ඉහළ දැමීමට නීතිය නිවැරැදිව සහ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වන අධිකරණය පද්ධතියක් තිබීමත්, ජනතාවට එයට අනුගත විය හැකි පහසු ක්‍රමවේදයන් තිබීමත් අත්‍යාවශ්‍ය ය. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සේවයේ නියැයළන වෘත්තිකයන්ගේ හා සේවකයන්ගේ වගවීම හා වගකීම ඉහළ දමා ගත හැක්කේ කාර්යක්‍ෂම ලෙස නීතිය ක්‍රියාත්මක වන වාතාවරණයක් යටතේ පමණකි. එබැවින් නීතියේ පරමාධිපත්‍ය ඇති කිරීමෙන් තොරව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන් උපරිම වගවීමෙන් කටයුතු කිරීම බලාපොරොත්තු විය නොහැකි ය.

 

සෞඛ්‍යය ක්ෂේත්‍රය ද අත්‍යාවශ්‍ය පොදු සේවයක් බැවින් එය කළමනාකරණය කරනු ලබන්නේ රාජ්‍ය සේවය මගිනි. එබැවින් රාජ්‍යයයේ පරිපාලන ක්‍රමවේදයම සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයතන තුළත් පවතියි. එනම්, ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින යල් පැන ගිය රාජ්‍ය පරිපාලන ක්‍රමවේදය තුළ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයතන ද සිරවී තිබේ. එහෙත් එම රාජ්‍ය අකාර්යක්ෂමතාවයෙන් වෙන් කොට එක් ක්ෂේත්‍රයක් පමණක් දියුණු කිරීම අපහසු කටයුත්තකි. අප පක්ෂයක් ලෙස රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ පූර්ණ වෙනසක් බලාපොරොත්තු වන්නෙමු. රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ ඔස්සේ රජයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් පූර්ණ වෙනසකට භාජනය කොට යාවත්කාලීන වූ වඩා කාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක් අප නිර්මාණය කරන්නෙමු. එම රාජ්‍ය පරිපාලන
ක්‍රමවේදය යටතේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ආයතන පිහිටුවීමෙන් මේ වනවිට පවතින පරිපාලන දුර්වලතා සියල්ල මග හරවා ගැනීමට කටයුතු කෙරේ.

 

 

කෘෂි කර්මාන්තය

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි අපේ ජන සමාජය තුළ ප්‍රභල මතයක් ඇති බව අපි හැමෝම දන්නා කරුණකි. සාර්ථක අතීත ශිෂ්ඨාචාරයකින් හෙබි ඉතිහාසයකින් ද ඒ ඔස්සේ ගොඩනැගුණු වාරිමාර්ග පද්ධතියකින් ද සමන්විත, සංස්කෘතිය සමග බැඳුණු මේ රටේ පැවති ප්‍රධානම කර්මාන්තය වූයේ කෘෂි කර්මාන්තය බව අප අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ. මේ රටේ ජනයා ඉතිහාසය තුළ සාර්ථක වූ කර්මාන්තයක් වූයේද, ඒ ඉතිහාසයම බතින් බුලතින් සශ්‍රීක කිරීමට පදනම සැපයූයේද කෘෂි කර්මාන්තයමය. එනයින් කෘෂි කර්මාන්තය වනාහි ගහට පොත්ත මෙන් ශ්‍රී ලාංකීය ජන ජීවිතය හා බැඳී මෙතෙක් නොනැසී ඇති එකම කර්මාන්තය යි.

 

එම කර්මාන්තය අදටත් ග්‍රාමීයව ජීවත් වන ජනයාගෙන් 25% කට ආසන්න සංඛ්‍යාවක් රැකියාව සඳහා තෝරා ගෙන තිබේ. එම කර්මාන්තය මේ රටේ දැවැන්ත ම රැකියා සපයන්නා සේම භූමියෙන් වැඩි ම ඉඩක් යොදා ගන්නා ද වෙයි. මේ සියල්ල යෙදවුම් ලෙස යොදාගත්ත ද කෘෂි කර්මාන්තය මගින් රටේ දළ දේශීය නිෂ් ාදනයට ලබා දෙන්නේ 8% කටත් වඩා අඩු අගයකි. එහි සෘජු තේරුම නම් රට තුළ එම කර්මාන්තය වර්තමානය වන විට පවතින්නේ ඉතා අසාර්ථක හා අකාර්යක්ෂම තත්ත්වයක බවයි. එසේ නම් ඉන් කියැවෙන්නේ අපි ජාතියක් ලෙස සංස්කෘතිකමය වශයෙන් පාරම්පරිකව බැඳී තිබෙන කර්මාන්තය ද රටේ අනෙකුත් ක්ෂේත්‍ර මෙන්ම යාවත්කාලීන කොට දියුණුවකට ලක් කොට නොමැති බවයි. එම නිසා මේ රට සංවර්ධනය කරා රැගෙන යන පාලනයක ප්‍රමුඛ රාජකාරියක් ලෙස කෘෂි කර්මාන්තය ගොඩ නැංවීම හඳුන්වා දීමට හැකි . එම වගකීම නිවැරදිව හඳුනාගෙන සිටින අප මේ දිවයිනේ ජීවනාලිය වන් කෘෂි කර්මාන්තය වඩාත් විද්‍යාත්මක හා දියුණු කර්මාන්තයක් බවට පත් කිරීමට කටයුතු කරන්නෙමු.

 

සාරවත් පොළොවකින් ද වර්ෂය පුරා හිරු එළිය ලැබෙන සමකාසන්න ගෝලීය පිහිටීමකින් ද වසරේ දෙවාරයකට වැස්ස ලැබෙන මෝසම් වැහි රටාවකින් ද ඒ වැහි රට පුරා ගලා යන ගංගා හා ඔය 106 කින් ද ඒ ජලය රැස් කොට තබා ගෙන පාලනයකින් යුතුව නිකුත් කරනා මුතුන් මිත්තන් තැනූ වාරිමාර්ග හා වැව් අමුණු පද්ධතියකින් ද පොහොසත් වූ මේ පුංචි රට කෘෂි කාර්මිකව දියුණු කිරීම යනු එතරම් අපහසු කටයුත්තක් නොවේ. කාන්තාර වගා කොට ආහාර අපනයනය කිරීමට තරම් තාක්ෂණය දියුණු මේ යුගයේ අප සතු ස්වාභාවික සම්පත් කාර්යක්‍ෂමව යොදාගැනීමට අප අසමත් නම් එය මේ යුගයේ රටේ පාලනය භාරව ඉන්නා මිනිසුන්ගේ අසමත්කම මිසක පුරවැසියන්ගේ කරුමයක් නොවේ. එබැවින් අප නොබියව වෙනස් විය යුතුය. මේ පාලන තන්ත්‍රය වෙනස් කරගෙන එය වෙනස් කළ හැකි ඉදිරි දැක්මක් සහිතව නව පාලනයක් ඇතිකර ගැනීමට පුරවැසියන් කටයුතු කළ යුතුය. එවන් වූ නව නායකයින්ගෙන් සැදුම්ලත් නව පාලනයක් මගින් මේ රට වෙනස් කිරීමට කටයුතු කරන මාර්ගය අපි ඔබට මෙසේ පැහැදිලි කරන්නෙමු.

 

කාලයක් තිස්සේ ජනතාවට බියක් ඇති කරමින් තිබූ බොරු මිත්‍යා විශ්වාසයක් නම්, රට සංවර්ධනය වන විට හා දියුණු වන විට රටේ පාරම්පරික කෘෂි කර්මාන්තය නැසී යා හැකි යැයි සිතන බියයි. එහෙත් ලොව සංවර්ධනය වූද කාර්මීකරණය වූද කිසිඳු රටක් කෘෂි කර්මාන්තය අත හැර නොමැත. ඒ රටවල සිදුවූයේ ඔවුන් ලබාගත් දියුණුවේම අනුහසින් විද්‍යාවේ හා තාක්ෂණයේ භාවිතයෙන් කෘෂිකර්මාන්තය ද වඩාත් දියුණු නිෂ් ාදන කර්මාන්තයක් බවට පරිණාමය වීමයි. මිනිසුන් දියුණුයි යනු හොඳින් පෝෂණය ලබා ආහාර ප්‍රමාණවත්ව අනුභවකර ජීවිතයේ රසය විඳීමට යොමුවන තත්ත්වයකි. එසේ නම් එම ජනතාවට පරිභෝජනය සඳහා මෙන්ම ඉහළ යන ජනගහනයට ආහාර සැපයීමට කෘෂිකර්මාන්තය දියුණු කිරීම ඕනෑම රටක වගකීමකි. එමෙන්ම එම රටේ අනෙකුත් කර්මාන්තවලට අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරගැනීම පිණිස ද විවිධ වගාවන් පවත්වාගෙන යෑමට සිදුවේ. මේ සියල්ල හේතු කොට ගෙන රටක ප්‍රධානම නිෂ් ාදන කර්මාන්තයක් ලෙස කෘෂිකර්මාන්තය දියුණු කිරීම සිදු වෙයි. එනයින්, රට දියුණු වී සංවර්ධනය කිරීම තුළ මූලිකව කෘෂිකර්මාන්තය දියුණු කිරීම මිසක එය අත්හැර දැමීමක් සිදු නොවේ.

 

නූතන දියුණු රාජ්‍යයක් වන ඊශ්‍රායලය කාන්තාරයක් වෙද්දී එහි දියුණුවට සාපේක්ෂව කෘෂි කර්මාන්තය දියුණු වී තිබීම ම මෙයට උදාහරණයකි. එහි ජනාධිපතිව සිටි සිමෙන් පෙරෙස් වරක ප්‍රකාශ කර සිටියේ කෘෂිකර්මාන්තය යනු 95% ක් විද්‍යාව බවත්, ඉතිරිය ශ්‍රමය බවත් ය. එහි තේරුම නම් විද්‍යාව හා තාක්ෂණය යොදා නොගෙන රටක කෘෂි කර්මාන්තය ගොඩනැගීමක් සිදු නොවන බව ඔහු පෙන්වා දුන්නේ ය. ඒ වගේම ලෝක අධිරාජ්‍යයන් වන බි්‍රතාන්‍යය, ඇමෙරිකාව හා චීනය දෙස බැලු ව ද, ලෝකයේ අධික ආදායම් ලබන දියුණු රාජ්‍යයන් දෙස බැලු ව ද ඒ සියලු ම රාජ්‍යයන් කෘෂි කර්මාන්තය දියුණු කොට සිය රටේ ජනතාවට ආහාර සැපයුම සුරක්ෂිත කොට දී තිබේ. එනයින්, අප සිටින මිත්‍යා විශ්වාසවලින් එළියට පැමිධෑමට කාලය උදා වී තිබේ. අපි අපේ රට කෘෂිකාර්මිකව දියුණු රටක් බවට පත් කරමු.

 

රටේ කෘෂිකර්මාන්තයේ දියුණුව සෘජුව ම රටේ සංවර්ධනයට හේතු වන අතර, ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමට ද හේතු වෙයි. එමගින් දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම රටේ සමස්ත සංවර්ධනයට හේතු වේ. රැකියා සපයන නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස ද, අපනයනය ඉලක්ක කරන රටේ නිෂ්පාදනයක් ලෙස ද, ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමේ පොදු පියවරක් ලෙස ද, අනෙකුත් කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය නිෂ්පාදනයක් ලෙස ද, ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩ නැංවීමේ පියවරක් ලෙස ද කෘෂිකර්මාන්තය යනු අපි පුළුල්ව ගොඩනැංවිය යුතු ක්ෂේත්‍රයකි.

 

 

පරිසරය

අප නිර්මාණය කරනු ලබන රටේ සංවර්ධනය මනින නිර්ණායක අතර ප්‍රමුඛතාව හිමි වන්නේ දළ ජාතික සතුටටයි. එහි කොටස් හතරක් ඇති බව ඉහත සඳහන් කර ඇත. ආර්ථික සංවර්ධනය, යහපත් රාජ්‍ය පරිපාලනය, සංස්කෘතියේ යහපැවැත්ම සහ පරිසර සංරක්ෂණය ඒ කොටස් හතරයි. 

 

එනම්, මින් පැහැදිලි වන කරුණ නම් පරිසරය සහ එහි යහපැවැත්ම රටක මිනිසුන්ගේ සතුට කෙරෙහි සෘජුව ම බලපාන බවයි. වේගයෙන් පරිසරයෙන් ඈත්ව තමාටම ආවේණික කෘතිම පරිසරයක් නිර්මාණය කර ගත්තා වුවද තවමත් ස්වාභාවික සත්ත්වයෙකුවන මිනිසාගේ පැවැත්ම පරිසරයේ යහපැවැත්ම මත රඳාපවතින්නකි. එහෙත් මිනිසා මෙතෙක් ලෝකය මත ආ ගමන දෙස ආපසු හැරී බැලූ විට ඔහුගේ දියුණුව සහ වර්ධනය යන්න ලෝකයේ පරිසරයට තිබූ ප්‍රභලම අභියෝගය යැයි අපට සැළකිය හැකිය. අප්‍රිකාවේ සැවනා බිම්වල පටන් වසර ලක්ෂ 2 ක් තිස්සේ සිය ගහණය වර්ධනය කරගනිමින්, බුද්ධිය දියුණු කර ගනිමින්, රාජ්‍යයන්වලට සංවිධානය වෙමින් පෘථිවි ජනගහණය බිලියන 8 ක් දක්වා මෙතෙක් අප ආ ගමන නිසා මේ පොළෝ තලය විශාල වන්දියක් ගෙවා තිබේ. 

 

නූතන මිනිසා සිය ජනාවාස සහ වාසස්ථාන ස්වාභාවික පරිසරයෙන් වියුක්තව තනා ගනිද්දී ඔහු කේන්ද්‍ර වූ පරිසරය දැඩි බලපෑම් රාශියකට මුහුණ දී තිබේ. මිනිසාගේ බෝ වීමත්, පැතිරීමත් නිසා පරිසර පද්ධතීන් රාශියක් විනාශ වූ අතර, වන සතුන් දහස් ගණනාවක් වඳ වී ගියේ එහි වූ සුවිශේෂි තුලිත නොවූ, පරිසර තත්ත්වයන් නිසාම ය. මිනිසා යනු ස්වාභාවික පරිසරයේ තුලිතතාව බිඳින්නෙකු වූයේ ඔහු සතු බුද්ධි මහිමය නිසාම ය. එබැවින් නූතන ලෝකයේ මිනිසා විසින් පරිසරයට එල්ල කරන බැලපෑම අතිමහත් ය. එම පරිසරය නියාමනයට ලක් නොකළහොත් පාරිසරික ඛේදවාචකයන් ඇති වීම නොවැළක්විය හැකි ය. 

 

පසුගිය ශතවර්ෂය සැලකීමේ දී නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයත්, ගෝලීයකරණයත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයත් ලෝකය පාලනය කළ යුගයක් යැයි කිව හැකි ය. හිට්ලර්ගේ ෆැසිස්ට් වාදය දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඉතිහාසයට එක්වූ අතර, කොමියුනිස්ට් වාදය සොවියට් රුසියාවේ බිඳ වැටීමෙන් අවසන් ගමන් ගොස් තිබේ. අනතුරුව තනි ලෝක බලවතා ලෙස වැජඹුණ ඇමරිකාව සිය දේශපාලන මතවාදය වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයත්, සිය ආර්ථික ක්‍රමය වූ විවෘත වෙළඳපොල ආර්ථිකයත් ගෝලීයව ප්‍රචාරණය කිරීමට ඔවුන් සමත් වූයේ ය. 

 

රාජාණ්ඩු ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ කාර්මික විප්ලවය හරහා දියුණු වූ ලෝකයේ කාර්මීකරණයත් තරඟකාරි වෙළෙඳපොළත් ඇති කළ ගෝලීය අතුරු ඵලය වූයේ පාරිසරික අර්බුදයයි. එනම්, නූතන සමාජ ක්‍රමය තුළ දියුණු වීමේ දී ඇති වන වේගවත් ආර්ථික ක්‍රියාවලිය තුළ පාරිසරික ව්‍යසනයක් ඇති වීම පැහැදිළිව දක්නට ලැබේ. ඉඩම් හා අමුද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් ද, ජනාවාස හා අනෙකුත් ඉදිකිරීම් වෙනුවෙන් ද, වේගයෙන් දියුණු වන ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර නිසා ද සීමිත පාරිසරික සම්පත් තිරසාර නොවන ලෙස භාවිතා කිරීමත්, කාර්මික අපද්‍රව්‍ය පාලනයකින් තොරව පරිසරයට මුදා හැරීමත් හේතු කොට ගෙන වෙළඳපොල ආර්ථිකයක් තුළ පාරිසරික අර්බුදයන් ඇති වී තිබේ. මෙම පාරිසරික අර්බුද අපට විවිධ ස්වරූපවලින් පිළිඹිබු වූ අතර මිනිසාට ඒවා කළමනාකරණය කර ගැනීමට සිදු වූයේ ය. 

 

ශතවර්ෂය ගණනාවක යටත් විජිත පාලනයකින් ද, දශක ගණනාවක දේශීය ස්වයං පාලිත සූරා කෑමකින් ද දුකට පත් වී ඇති ශ්‍රී ලංකාවේ මිනිසුන් හට දැනට පවතින ආර්ථික තත්වයෙන් ගොඩ ඒමට නම්, වේගවත් කාර්මීකරණයත්, කාර්යක්‍ෂම විවෘත වෙළඳපොල ආර්ථික ක්‍රමයත් අවශ්‍ය වෙයි. එවන් ක්‍රියාවලියක දී ඒත් සමඟම අතුරු ඵලයක් ලෙස පාරිසරික අර්බුද මතු වීම සිදුවීමට විශාල ඉඩක් තිබේ. එනයින් මේ තත්ත්වය කළින්ම අවබෝධ කරගෙන සිටින අප, ආර්ථික දියුණුවෙන් පරිසරය විනාශ වෙන තුරු බලා නොසිට ඊට පෙර පූර්ව ක්‍රියාකාරී වී එය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බව විශ්වාස කරන්නෙමු. එනම්, පරිසරය රැක ගන්නා අතරම අපගේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට පවතින වෙළඳපොල ආර්ථික ක්‍රමය සමග පාරිසරික විඥානය මුහු කොට සංවර්ධනයට දැක්මක් සහ තිරසාර සැලසුම් ලබා දීමට බලාපොරොත්තු වෙමු. එනයින් අපි හරිත දේශපාලන මතවාදයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටු වන්නෙමු. එබැවින් අපගේ පාරිසරික ප්‍රතිපත්තිය රටේ සිදු විය යුතු අත්‍යවශ්‍ය ආර්ථික සංවර්ධනයට පහසුකම් සලසන අතර, එම සංවර්ධන වැඩපිළිවෙල පාරිසරික අර්බුද නිර්මාණය නොවන අයුරින් ද පරිසරය සංරක්ෂණය වන අයුරින් සකස්කර ගැනීමට ද අප කටයුතු කරන්නෙමු. 

 

නූතන පාරිසරික අර්බුදවල සුවිශේෂීත්වය නම් ඒවා බොහෝ විට ගෝලීය ගැටළු බවට පත් වී තිබීමයි. මීට පෙර ලෝකයේ නොතිබූ ආකාරයේ පාරිසරික අර්බුද රැසක් රටක දේශ සීමාවට සීමා නොවී ගෝලීයව බලපවත්වන ලෙස ඇති වී තිබේ. මෙය ලෝකයේ මුලින්ම අත් දකින්නට ලැබුණ අවස්ථාව ලෙස ඕසොන් වියනේ සිදුරු වීම දැක්විය හැකි වන නමුත්, ගෝලීය සහභාගීත්වයෙන් නිර්මාණය වුණ මොන්ටි්‍රයල් එකඟතාවයට අනුව එම හානිය වළක්වාගෙන ඕසොන් වියන සුවකර ගැනීමට ලෝකය සමත් වූයේ ය. එහෙත්, ලෝකය අලු ත් පාරිසරික අර්බුද රාශියකට මේ වන විට මුහුණ දෙමින් සිටී. ඒවා අතරින් ගෝලීය උණුසුම ඉහළ යෑම, දේශගුණික විපර්යාස, සාගර දූෂණය, ස්වාභාවික සම්පත් අධිපරිභෝජනය, වනාන්තර හීන වී යෑම ආදිය දැක්විය හැකිය. මෙම ගැටලු සියල්ල මීට පෙර මෙන් රටකට ජාතියක් ලෙස තනිව සිට ගෙන විසඳා ගත හැකි ප්‍රශ්න නොවේ. ඒවා ගෝලීය කාර්මීකරණයේ, අධික ජනගහන වර්ධනයේ සහ ප්‍රවාහනයේ ප්‍රතිඵල වන අතර ඒවාට විසඳුම් සෙවීමටද ගෝලීයව සහයෝගයෙන් කටයුතු කිරීමට අපට සිදු වෙයි. 

 

එහිදී පොදුවේ පිළිගත් අන්තර්ජාතික පාරිසරික සම්මතයන්ට අනුකූලව රටක් ලෙස කටයුතු කිරීමට අප බැඳී සිටින අතර, අලු තින් ඇති වන අන්තර්ජාතික ගිවිසුම් ගත වීම්, වෙළෙඳපොළ වෙනස් වීම්, තාක්ෂණික වෙනස් වීම් සහ ජීවන රටාවන්ගේ වෙනස් වීම් මෙරට තුළට ගෙන ඒමට අප වගකීම බාරගත යුතුයි. එනයින් පාරිසරික විඥානය පෙරදැරි කර ගත් ඒ ගැන අවබෝධයෙන් කටයුතු කළහැකි පිරිසක් පාර්ලිමේන්තුව සහ රාජ්‍ය පරිපාලනය තුළ සිටීම අත්‍යාවශ්‍ය වෙයි. එසේ සිටිමින් පොදු විද්‍යාත්මක ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ කටයුතු කිරීමත්, නිවැරදි ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමත්, ගෝලීයව සිදුවන ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමත් අප සතු වගකිම් ලෙස අප හඳුනාගෙන තිබේ. 

 

එලෙස ම තිරසාර සංවර්ධන ඉලක්ක අපගේ පදනම ලෙස ගෙන, හරිත දේශපාලනයත්, දළ දේශීය සතුටත් පාදක කරගෙන ශ්‍රී ලංකාවට ගැළපෙන පාරිසරික ප්‍රතිපත්ති මාලාවක් අප මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

 

 

වංචා දුෂණ වැලැක්වීම

ශ්‍රී ලංකාව ගොඩනගන ප්‍රතිපත්තියක ප්‍රධාන මාතෘකාවක් බවට වංචා සහ දූෂණ වැළැක්වීම යන්න දැක්විය හැකිය. රටේ ආර්ථිකය වෙලා ගත් දැවැන්ත, විනාශකාරී දේශපාලන ක්‍රමයේ පැවැත්ම වංචා දූෂණ ඔස්සේ වැටී තිබේ. වංචා දූෂණයට අනුබල සපයන විශාල රාජ්‍ය සේවයකින් සහ පරිපාලන අක්‍රමිකතා රැසකින් සමන්විත වර්තමාන දේශපාලන ක්‍රමය දූෂකයන් රැසකගෙන් පිරී තිබීම ද ඔවුන්ගේ බලයට නතුව තිබීම ද නිසා ඒවා පාලනය කිරීම එතරම් පහසු නොවේ. 

 

මේ වත්මන් දූෂිත දේශපාලන ක්‍රමයට වගකිවයුත්තෝ හුදෙක් දේශපාලකයෝම පමණක් නොවේ ය. එහි වගකීම සමස්ත රට වැසියා ම බාර ගත යුතුය. දේශපාලකයා ද නිලධාරියා ද සහ පුරවැසියා ද යන තුන් පිරිසගෙන්ම අඩු වැඩි වශයෙන් මේ වංචා සහ දූෂණ සිදු වී තිබේ. එම නිසා චංචා දූෂණ වැළැක්වීමේ වැඩපිළිවෙලක දී මේ කොටස් තුන ම අපි සැලකිය යුතුය. 

 

එසේම වත්මන් දේශපාලනයේ සිටින කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් වංචා දූෂණ වැළැක්වීම පිළිබඳව පැහැදිළි ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැත. හුදෙක් නීතියේ පරමාධිපත්‍ය ඇති කිරීම මගින් පමණක් එය සිදු වේ යැයි ඔවුන් සිතති. එහෙත්, වංචා දූෂණ ප්‍රමාණාත්මකව ද ගුණාත්මකව ද සැලකිය යුතු මට්ටමෙන් අවම කරගත හැකි ප්‍රායෝගික ක්‍රමයක් ඔවුන් නොකියති. එනයින් එවන් වැඩපිළිවෙලක් මෙසේ ඉදිරිපත් කිරීමට අප සූදානම් වෙමු. 

 

ඒ වෙනුවෙන් අපි දකින පුළුල් වැඩපිළිවෙල හමුවේ වංචා දූෂණ අවම කරන ක්‍රමවේදයන් 7 ක් අපි ඔබට දක්වන්නෙමු. ඒවා වංචා දූෂණ අවම කිරීම වෙනුවෙන් ම වෙන්වූ විශේෂ ක්‍රමවේදයන් නොව, රට හදන සැළැස්මක අන්තර්ගත කොටස් ය. එම දියුණු රට හදන මාර්ගයේම වංචා දූෂණ අවම කරන ක්‍රමය ද ගැබ් වී තිබීමෙන්, මේ දේශපාලන ක්‍රමය වෙනස් වූ විට වංචා දූෂණ ද අවම වන බවට අප සඳහන් කරනා ක්‍රමය යළි සනාථ වෙයි. එම කරුණු 07 මෙසේ ය. 

 

  1. කුඩා රාජ්‍ය සංකල්පය
  2. කුඩා රාජ්‍ය සේවයක් හොඳ වැටුපක්
  3. ආර්ථිකය නිදහස් කිරීම
  4. නීතියේ පරමාධිපත්‍ය ඇති කිරීම
  5. e-Governance 
  6. මැතිවරණ වියදම් නියාමනය
  7. නියාමන ආයතන ස්වාධීන කිරීම 

 

කුඩා රාජ්‍ය සංකල්පය 

රට හදන ප්‍රතිසංස්කරණවල අප ඉදිරිපත් කරන මූලික වැඩපිළිවෙලක් නම් කුඩා රාජ්‍ය සංකල්පයයි. එනම් අනවශ්‍ය ලෙස විශාලව වැඩී ඇති, අකාර්යක්ෂම රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගතකොට, කුඩා රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමයි. එමගින් රජයේ වියදම් අවම කර ගැනීමට බලාපොරොත්තුවන අතර පාඩුව ආවරණය කර ගැනේ. දැනට තිබෙන ඇතැම් අතිරික්ත රාජ්‍ය ආයතන අහෝසිකර දැමීමත්, රජය කර්මාන්තවලින් නිදහස් වී වෙළඳපොලට නිකුත් කිරීම හෙවත් පුද්ගලීකරණය මගින් ආයතන අඩුකර ගැනීමත් දැක්විය හැකිය. එම ක්‍රමවේදයන් මෙම ප්‍රකාශනය තුළම වෙනත් තැන්වල විස්තර කරන බැවින් මෙහි දීර්ඝ ලෙස විස්තර නොකරයි. 

 

මෙලෙස රාජ්‍ය කුඩා කිරීම තුළ ඒ ඒ ආයතන තුළ සිදුවන වංචා දූෂණ අහෝසි වී යෑම මත, වංචා දූෂණවල ප්‍රමාණය එමගින් අඩු වේ. එබැවින් කුඩා කාර්යක්ෂම රාජ්‍යයක් යනු වංචා දූෂණ අඩු රාජ්‍යයකි. 

 

කුඩා රාජ්‍ය සේවයක් සහ හොඳ වැටුපක් 

රාජ්‍ය කුඩා කිරීමේ සංකල්පයට සමගාමීව රාජ්‍ය සේවකයන් අවම කරගැනීමත් සිදු වේ. දැනට සිටින මිලියන 1.5 ඉක්මවූ රජයේ සේවකයන් ප්‍රමාණය ඉන් තුනෙන් එකක අගයට ගැනීමේදී, ඒ ඒ සේවකයන් අතින් සිදුවන වංචා දූෂණ ප්‍රමාණය අඩු වේ. 

 

වංචාවක් හෝ දූෂණයක් සිදුවීමේදී රාජ්‍ය නිලධාරියෙකු සහ පුරවැසියෙකු අතර සේවය ඉටුකර ගැනීමක් ඉවහල් වෙයි. ඒ සේවය සැපයීම වෙනුවෙන් බොහෝවිට අල්ලස් දීම හා වංචා දූෂණවලට මාර්ගය විවර වීම සිදුවෙයි. අප රාජ්‍ය සේවය සකස් කළයුත්තේ ඒ හමුවීම් අවම වන පරිදි ය. රාජ්‍ය සේවකයන්ගෙන් ද බොහෝ දෙනෙක් මේ වංචා දූෂණවල කොටස්කරුවන් බැවින්, එම කොටස ප්‍රමාණාත්මකව අඩුවීම මත වංචා දූෂණ අඩු වීමක් සිදු වේ. රාජ්‍ය සේවය කප්පාදු කරගැනීම ගැන ප්‍රතිපත්තිය මෙම ප්‍රකාශනයේම වෙනත් තැනක දක්වා තිබේ. එනයින් දීර්ඝ විස්තරයක් මෙහි නොකෙරේ. 

 

එසේම බොහෝ රාජ්‍ය නිලධාරීන්හට වංචා සහ දූෂණවලට යොමු වීමට පසුබිම නිර්මාණය වන්නේ ඔවුන්ගේ යාවත්කාලීන නොවූ ඉතා කුඩා වැටුප් තල නිසා ය. අපගේ ආර්ථික ක්‍රමවේද මගින් වේගයෙන් ධනය ජනිත කිරීමේ වැඩපිළිවෙලක් තුළ රජයේ ආදායම් ඉහළ යන අතර ඒ ඔස්සේ ජනතාවගේ ආදායම් ඉහළ දැමීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙයි. ඒ අනුව සියලුම ශ්‍රමිකයන්හට උද්ධමනයට අනුපාතව වාර්ෂිකව ඉහළ යන නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. එමගින් උසස් ජීවන තත්ත්වයකට අවශ්‍ය ආදායමක් ලැබෙන වැටුප් ක්‍රමයක් නිර්මාණය කිරීම මගින් රජයේ සේවකයන් වංචා සහ දූෂණවලට යොමුවීම අවම කරගැනීමට බලාපොරොත්තු වේ. 

 

ආර්ථිකය නිදහස් කිරීම 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ දක්නට ලැබෙන බාධාකාරී ලක්ෂණයක් නම් මේ තුළ ඇති පර්මිට් සහ ලයිසන් ක්‍රමයි. එමගින් ඇති කරනු ලබන අධික වෙළඳපොල නියාමනය මගින් කර්මාන්ත සිර කරගෙන සිටීම නිසා වෙළඳපොල ක්‍රියාත්මක වීමට රජයේ නියාමන ආයතනවල සේවකයන්ට හා දේශපාලකයන්ට අල්ලස් දීම සිදුවෙයි. මෙලෙස පැරණි වාමාංශික වැසුණු ආර්ථිකය න්‍යායන්ට ගැළපෙන ලෙස සකස් වූ රටේ ආර්ථිකය විවෘත වෙළඳපොලට ගැළපෙන ලෙස ප්‍රමාණවත්ව නිදහස් කොට නොමැත. එලෙස නියමිත යාවත්කාලීන වීමකට ලක් වී නොමැති නිසා අනවශ්‍ය අධික නියාමනයකට රටේ වෙළඳපොල තවමත් ලක්වේ. එමගින් රටේ ආර්ථිකය සිරයකාට තබනවා පමණක් නොව, ඒ නියාමනයන් ඔස්සේ දේශපාලන බලය ඇත්තන් වෙළඳපොළට බලපෑම් කර සෞඛ්‍යය සම්පන්න වෙළඳපොල තරඟය අභිබවා වෙළඳපොල වාසි අත්කර ගැනීම සිදු වේ. එසේ ම, නිලධාරීන් සහ සේවකයන් එම නි ාමන භාවිතා කොට ඒවා වංචා සහ දූෂණවලට ඇති අවස්ථා ලෙස යොදා ගනී. 

 

අප නිර්මාණය කරනු ලබන නිදහස් විවෘත වෙළඳපොල ක්‍රමයක් තුළ අවම නියාමනයක් පවත්වාගෙන යෑම නිසා සෞඛ්‍යය සම්පන්න දක්ෂයාට ඉඩ ලැබෙන වෙළඳපොල තරඟයක් ඇතිවන අතර, රාජ්‍ය නිලධාරීන්හට නියාමනය භාවිතා කොට අල්ලස් ගැනීම සහ වංචා සිදුකිරීමට හැකියාවක් නොලැබේ. එමගින් ආර්ථිකයේ වේගවත් සංවර්ධනයක් ළඟා කර ගැනීමට අඩිතාලම දැමේ. 

 

නීතියේ පරමාධිපත්‍ය ඇති කිරීම

රටේ නීතියේ පරමාධිපත්‍ය ගිළිහී ඇති බව අපි දනිමු. එය ක්‍රියාත්මක වන්නේ පාලකයාගේ කැමැත්තට බවත්, නීතිය දුර්වල වී ඇති බවත්, සාධාරණය ඉටුකර ගැනීමට ඇති අවස්ථාවන් අකර්මණ්‍ය බවත් අපි දනිමු. 

 

නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවේ නම්, මිනිසුන් එය විශ්වාස නොකරන මට්ටමට පත් වෙයි නම්, නීතියට ඇති බිය පහව යෑම නිසා මිනිසුන් වැරදි කිරීමට නොපැකිළ වෙයි. එම නිසා ජනතාවට ඔවුන්ට සිදු වන වංචා දූෂණ වෙනුවෙන් පැමිණිළි කිරීමට ය ළඹවීම ඇති කිරීමත්, ඒවායේ කටයුතු විනිවිද භාවයෙන් සිදුවීමත්, අවම කාලයකින් නියමිත විමර්ශන සිදුකොට වගකිව යුත්තන් නීතිය හමුවන පැමිධෑමට කටයුතු කිරීමත් සිදු විය යුතුය. 

 

පොලිසිය, අල්ලස් සහ වංචා දූෂණ කොමිසම, රසපරීක්ෂණ ආයතන ආදිය වඩාත් සාධාරණ සහ කාර්යක්ෂම ආයතන බවට පත් කොට, ඒවාට ඇති දේශපාලන බලපෑම ඉවත් කොට ස්වාධීන ලෙස කටයුතු කිරීමට සකස් කිරීම මගින් නීතියේ පරමාධිපත්‍ය ඇති කිරීම රටේ වංචා දූෂණ වැළැක්වීමට ප්‍රධාන අවශ්‍යතාවයකි. 

 

එනයින්, නීතියේ පරමාධිපත්‍ය පිහිටුවන තුරු වංචා දූෂණ වැළක්වීම කළ නොහැක. වැරදි කරන්නා නැවැත්වීමට නම් නීතිය ශක්තිමත් විය යුතුය. වැරදි කරන්නා නීතියට බිය විය යුතුය. එවිට වංචා දූෂණ අවම කිරීම සිදු කළ හැකිය.

 

e-Governance ක්‍රමවේදය. 

ශ්‍රී ලංකාවේ සිදු වන වංචා දූෂණවල ප්‍රධාන හේතුවක් නම් රාජ්‍ය පරිපාලනයේ ඇති අක්‍රමික භාවයයි. නූතන ලෝකයේ යහපාලයක් ඇති කිරීමට මෙන්ම විශාල මිනිසුන් ප්‍රමාණයක් පාලනය කිරීමට තවමත් කඩදාසිවල ඉරි අඳිමින්, ලිපිගොනු ආධාරයෙන් කළ නොහැක්කකි. දූෂිත ආකාරයට වෙනස්කම් කිරීම, අස්ථාන ගත කිරීම, ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම ආදිය එම අක්‍රමිකතා අවභාවිතා කරමින් සිදු වන්නකි. එම නිසා එම පැරණි ක්‍රම වංචා දූෂණවලට ඉඩකඩ නිර්මාණය කර දෙයි. විනිවිද භාවය ඇති කිරිම සහ වගවීම ඇති කිරීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක් ලෙස නූතන තාක්ෂණය භාවිතයෙන් රාජ්‍ය පරිපාලනය සඳහා ජාලගත e-Governance ක්‍රමවේදය හඳුන්වා දීම සිදු කළ යුතුය.

 

e-Governance ක්‍රමවේදය ද රාජ්‍ය පරිපාලනය තුළ අපි ඇති කරනු ලබන්නේ එහි කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම සඳහා ය. එයද දීර්ඝ ලෙස රාජ්‍ය පරිපාලනය යටතේ විස්තර කෙරෙන අතර, ඒ ක්‍රමය මගින් විනිවිදභාවය, වගවීම හා ක්‍රමවත්භාවය ඇති කිරීම මත වංචා දූෂණ අවම කරගැනීමට ඉන් අවස්ථාව උදා වෙයි. 

 

මැතිවරණ වියදම් නියාමන පනත 

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ දැකි හැකි සුවිශේෂි ලක්ෂණයක් නම් මැතිවරණයක් දිනීම සඳහා අපේක්ෂකයන් අධික මුදලක් වියදම් කිරීම ය. ඔවුන් තරඟ කරන නිලයෙන් වැටුප් හා දීමනා ලෙස ඉපයිය නොහැකි තරම් මුදලක් වියදම් කිරීම මගින් බලය ලබා ගන්නා ඔවුන්, ඒ වියදම් කළ මුදල යළිත් දේශපාලන තුළින් උපයා ගැනීමට උත්සාහ කිරීම තුළ වංචා දූෂණ කිරිමට ඔවුන් පෙළඹේ. 

 

බොහෝ විට දේශපාලකයන් ගජමිතුරන් සමග එක්ව දේශපාලන බලය ලබා ගැනීම තුළ රාජ්‍ය බලය භාවිතා කොට සිය ව්‍යාපාරවලට වාසි ලබා ගැනීම, නෑයන් සහ හිතමිතුරන්හට දේශපාලන පත්වීම් ලබාදීම, සහ රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම, වෙළඳපොල වාසි ලබා ගැනීම ආදිය සිදු වේ. එමගින් අප රටතුළ නිර්මාණය වී ඇති ගජමිතුරු ධනවාදය පවත්වා ගෙන යෑමට ද වංචා දූෂණ කර ගෙන යෑමට ද මාර්ගය විවෘත කර ගනී. එම නිසා මැතිවරණවලට වියදම් කළ හැකි මුදල සීමා කිරීමත්, මුදල් ලැබෙන ඒවා විනිවිදභාවයෙන් ප්‍රසිද්ධ කිරීමත්, ඒවා විගණනය කිරීමත් මේ තත්ත්වය පාලනය කර ගැනීමට අත්‍යාවශ්‍ය කරුණු වෙයි. 

 

එවිට මුදල් බලය භාවිතා කොට දේශපාලන බලය ලබා ගැනීමට ඇති හැකියාව අවම කරගැනීමටත්, සාමාන්‍ය මිනිසුන්හට දේශපාලනයේ නි ැළීමට සාධාරණ අවස්ථාවක් නිර්මාණය වීමත්, වංචා දූෂණ, ඥාති සංග්‍රහය, හා ගජ මිතුරු ධනවාදය වළක්වා ගැනීමටත් හැකියාව ලැබේ. 

 

නියාමන ආයතන ස්වාධීන කිරීම. 

වංචා දූෂණ සිදුවන තවත් එක හිඩැසක් වන්නේ යම් ක්ෂේත්‍රයක් නියාමනය කිරීමට ඇති රාජ්‍ය පරිපාලන ආයතනය ස්වාධීනව ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් ඇති නොකොට ඒවා එම අමාත්‍යාංශය භාර ඇමතිවරයා විසින් ම පාලනය වන තත්ත්වයට පත් කිරීමයි. එනම්, දේශපාලන බල අධිකාරියට සිතැඟි පරිදි රටේ විවිධ කර්මාන්ත හා ක්ෂේත්‍ර නියාමනයට අවස්ථාව ලබා දීමයි. 

 

එහි දුර්වලතාවය නම්, දේශපාලන ක්‍රමය මගින් පත්වන බලය ලැබෙන පුද්ගලයන් විවිධ නියාමන උපයෝගී කරගනිමින්, අයථා ලෙස වෙළඳපොල පාලනය කිරීමත්, වෙළඳපොල තුළ ඇති සෞඛ්‍යය සම්පන්න වෙළඳ තරඟයට බලපෑම් කොට හිතවතුන් හට වාසි ලබා දීමත්, විවිධ කොමිස් සහ අල්ලස් ලබා ගැනීමට පෙළඹීමත් ය. 

 

එනිසා, රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණය වන නියාමන අධිකාරීන්ගේ ස්වාධීන නියාමන හැකියාව දියුණු කිරීමත්, එය අවභාවිතා කොට අල්ලස් ගැනීම, කොමිස් ගැසීම හා වාසි ලබා ගැනීමට එම ආයතන පාලනය කරන්නන් හට අවස්ථාව නොලැබෙන අයුරින් නිර්මාණය කිරීමත් අත්‍යාවශ්‍ය වෙයි. 

 

මේ ආකාරයට රටේ වංචා හා දූෂණ වැළක්වීම පිණිස අප ගතයුතු පැහැදිළි ක්‍රියාමාර්ග රාශියක් වෙයි. ඒවා මගින් ප්‍රමාණාත්මකව සහ ප්‍රායෝගිකව වංචා දූෂණ අවම කරගැනීමේ හැකියාව ලැබේ. 

 

මේ ප්‍රතිසංස්කරණ යනුල පූර්ණ රාජ්‍ය දේශපාලන ක්‍රම වෙනසක් තුළ සිදුවන පුළුල් පරිවර්තනයක ප්‍රතිඵලයකි. ඒවා වෙන වෙ ම ඇති වන්නක් නොව ඒ සමස්ත පරිවර්තනය තුළ සිදුවන ක්‍රියාවලියකි. මේ පරිවර්තනය එක් දිනක, එක් මොහොතක ඇති වන්නක් නොව රාජ්‍ය පරිපාලනය තුළ කාලයක් වැය කොට ක්‍රමිකව ඇති වන වෙනස්කමකි. 

 

එය වසර 5 ක් පමණ පුරාවට සිදුවිය හැකි වෙනස්කමකි. ඒ වෙනුවෙන් රාජ්‍ය පරිපාලනය යාවත්කාලීන කරගැනීම මගින් සොරෙකුට වුව ද සොරකම් කළ නොහැකි ක්‍රමවේදයක් සකස්කර ගැනීම කළ හැකිය. එබැවින් අපි අපේ අවධානය සමස්ත චිත්‍රය දෙස බැලීමටත්, පුළුල් පරිවර්තනය සිදුකර ගැනීම සඳහාත් යොමු කරන්නෙමු.

 

 

රාජ්‍ය සේවකයන් අඩුකිරීම

ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා රැගෙනයන ගමන නිර්මාණය කිරීමේදී අප විසින් අත්‍යාවශ්‍යයෙන්ම සිදුකළයුතු වෙනස්කමක් ලෙස රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ දැක්විය හැකිය. 

 

නිදහසෙන් පසු අප විසින් ඈඳාගත් බි්‍රතාන්‍යයන් ගෙන් සෘජුවම දායාද වූ එවකට පැවති වෙබේරියන් ක්‍රමයට සකස් වූ රාජ්‍ය සේවය ශ්‍රී ලංකාවේ තවමත් පවතිනු දක්නට ලැබෙයි. ලෝකයේ රාජ්‍ය සේවය නූතන විද්‍යාත්මක දැනුම සමගින් යාවත්කාලීන වී පරිවර්තනය වී තිබුණ ද අපේ රටේ ඒ පරිවර්තනය සිදු වී නොමැත. එනයින්, රට හදන වැඩ පිළිවෙලකදී රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ වලට මූලික තැනක් හිමිවේ. 

 

ශ්‍රී ලංකාවේ මහජනතාව රාජ්‍ය සේවයට දැඩි කැමැත්තක් දක්වති. රටේ ශ්‍රමිකයන් හට වඩාත් හොඳ රැකියා සුරක්ෂිතතාවයක් ලැබෙන්නේ ද, ඔවුන් බලාපොරොත්තුවන පහසු ජීවිතයක් ලැබෙන්නේ ද, සමාජ ගෞරවයට පාත්‍ර වන්නේ ද රජයේ සේවයෙන් යැයි සමාජ සම්මතයක් තිබේ. එසේම කුඩා වූවත් විශ්‍රාම වැටුප ද මිනිසුන් රජයේ රැකියාවන් වෙත ඇඳ බැඳ තබන තවත් එක් ප්‍රතිලාභයකි. මේ රජයේ රැකියාවන්ට ඇති කැමැත්ත නිසාම දේශපාලකයන් එය ඇමක් සේ යොදා ගෙන සිය මැතිවරණ කටයුතු වලට තරුණ තරුණියන් ආකර්ෂණය කරගැනීමට කටයුතු කොට තිබේ. රජයේ රැකියාවක් ලබා ගැනීමට ඡන්දයට වැඩ කළයුතු යැයි ද, අනතුරුව බලය ලබා ගන්නා දේශපාලකයාගේ මැදිහත්වීමෙන් රජයේ රැකියාවක් ලබාගත හැකි යැයි ද සමාජය පිළිගත් සම්මතය වී තිබේ. මේ සම්මතයේ අවසන් ප්‍රතිඵලය නම් රැකියා වලට නුසුදුස්සන් රාජ්‍ය සේවය තුළ පිරී යෑමත් එම රාජ්‍ය සේවය රජයට දැරිය නොහැකි තරම් විශාල වීමත් හා රාජ්‍ය අකාර්යක්ෂම වීමත් ය. වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රධාන මූල බීජයක් ලෙස මේ තත්ත්වය දැක්විය හැකිය. 

 

එනයින්, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මගක, මෙන්ම රට ආර්ථික සංවර්ධනය කරා ගෙනයන පාරක, රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමකර ගැනීමත්, එහි සේවක බර අඩුකර ගැනීමත් දැක්විය හැකිය. වත්මන් රාජ්‍ය සේවක සංඛ්‍යාව වන මිලියන 1.5 ක පිරිස, මිලියන 0.7 කට වඩා අඩුකළ යුතුය. මේ සංකල්පය දුටුවනම අභියෝගයක් මෙන් පෙණුනද අප යෝජනා කරන නූතන සමස්ථ ප්‍රතිසංස්කරණ තුළ ආර්ථිකය වෙනස් කිරීම තුළ එය ඉටුකර ගැනීම අපහසු නොවේ. 

 

රජය කුඩා කිරීම, රජය කර්මාන්ත වලින් ඈත් වීම, පුද්ගලීකරණය, වෙළෙඳපොළ නිදහස ඇති කිරීම ආදිය මත රජයේ සේවක බර අඩු කර රට හදන හරි පාර 86 ගැනීමට පදනමත්, දියුණුවන ආර්ථිකයක් මගින් එම සේවකයන් වෙනත් රැකියා ලබා දීම සහ ආර්ථික අවස්ථා නිර්මාණයකර දීමත් සිදු කළ හැකිය. එනයින්, රජයේ සේවකයන් අඩු කිරීම යනු හුදෙකලා කටයුත්තක් නොව, රටේ සමස්ථ ආර්ථිකයේ සිදු වන වෙනස් කමක් සමග සමාන්තරව සිදු වන තවත් පරිවර්තනයකි. එබැවින් එය අපහසු නොවේ. 

 

එම නිසා කරුණු 7 කින් රාජ්‍ය සේවක බර අඩු කර ගැනීමේ ක්‍රියාවලිය පැහැදිළි කරන්නෙමු. 

 

  1. කළින් විශ්‍රාම යෑමට අවසර දීම
  2. නිශ්චිත කාලයක් යනතුරු වැටුපෙන් අඩක් ලැබෙන ලෙස රැකියාවෙන් ඉවත් වීමට අවසර දීම.
  3. නව රැකියා සඳහා පුහුණු වීමට, වැඩිදුර අධ්‍යාපනයට අවස්ථා ලබා දීම. 
  4. ව්‍යාපාර කිරීමට ආයෝජන/ණය ලබා දීම.
  5. වන්දි හෝ කොටස් ලබා දී ඉවත් කිරීම. 
  6. රට රැකියා සඳහා අවස්ථා ලබා දීම. 
  7. සැමට විශ්‍රාම වැටුපක් ලැබෙන ක්‍රමයක් සකස් කිරීම. 

 

කළින් විශ්‍රාම යෑමට අවසර ලබා දීම 

ඇතැම් රාජ්‍ය සේවකයන් කළින් විශ්‍රාම යෑමට කැමැති විය හැකිය. ඔවුන්ට වෘත්තීය ඉදිරි ගමනක් නොමැති නම්, විශ්‍රාම වයස පැමිණෙන තුරු නොසිට කළින් ඉවත් වී විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවසර ලබා දීමෙන් යම් පිරිසක් ඉවත් කර ගැනීමට හැකියාව ලැබේ. 

 

නිශ්චිත කාලයක් යනතුරු වැටුය න් අඩක් ලැබෙන ලෙස රැකියාවෙන් ඉවත් වීමට අවසර දීම 

ඇතැම් රජයේ සේවකයන් ඉතා දුර බැහැර සිට රජයේ රැකියා වලට ප්‍රවහන පහසුකම් සලසා ගනිති. නවාතැන් පොළවල නැවතී සිටිති. ඇඳුම් පැළදුම් සපයා ගැනීම, සමාජ කටයුතු වලට සහභාහී වීම ආදිය නිසා වැටුපෙන් විශාල කොටසක් ඔවුන්ට අහිමි වෙයි. ඔවුන්ට ඒ වැටුපෙන් කොටසක් ලබා දී රාජ්‍ය සේවයෙන් ඉවත් වීමට අවස්ථාවක් ලබා දුනහොත් මේ පිරිසෙන් කොටසක් ඉවත් කරගැනීමට අවස්ථාව ලැබේ. 

 

නව රැකියා සඳහා පුහුණුවීමට, වැඩිදුර අධ්‍යාපනයට අවස්ථාව ලබා දීම 

රජයේ රැකියාවන් හි නියුතු පුරවැසියන් හට ඇති ලොකුම බාධාවක් නම් ඔවුන්ගේ රැකියා පුහුණුව විවෘත වෙළඳපොල තුළ රැකියාවක් සොයා ගැනීමට නුසුදුසු වීමයි. එසේම විවිධ දේශපාලන පත්වීම් නිසා රැකියා ලබාගත් මිනිසුන්හට හොඳ රැකියාවකට සුදුසුකම් නොමැති වීමයි. මේ අභියෝගයට මුහුණ දීමට කළ හැකි හොඳම කාර්යය නම් එම සේවකයන් විවිධ රැකියා පුහුණුවීම් සහ පාඨමාලා සඳහා යොමු කරවීමයි. එය වසරක්, දෙකක් හෝ තුනක කාලයක් ගතවන වැඩපිළිවෙලක් වූවත්, රජයේ වෘත්තීය පුහුණු ආයතන හා උසස් අධ්‍යාපන ආයතන එක්ව දියත් කරන සුවිශේෂී වැඩපිළිවෙලක් මගින් වසරක් පාසා සිදුකෙරෙන සැළසුම් සහගත ක්‍රියාවලියකින් සේවකයන් නිදහස් වෙළඳපොලක් තුළ රැකියාවක් ලබාගැනීමට සුදුස්සෙකු බවට පත්කෙරේ. ඒ අනුව ගොඩනැගෙන ආර්ථිකයක අලු ත් රැකියා අවස්ථා ලබාගෙන ඔවුන්ට පිටවී යෑමට අවස්ථාවක් ලබා දිය හැකිය. 

 

ව්‍යාපාර කිරීමට ආයෝජන හා ණය ලබා දීම 

ඇතැම් රජයේ සේවකයන් විවිධ ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති විය හැකිය. ගොඩනැගෙන වර්ධනය වන ආර්ථිකයක ඒ සඳහා අවස්ථා උපරිමයෙන් තිබේ. එම ආර්ථික අවස්ථා හඳුනාගෙන අලු ත් ව්‍යාපාර කිරීමට නැඹුරුවක් ඇති සේවකයන් හට රාජ්‍ය බැංකු මගින් ණය මුදලක් ලබා දීමට කටයුතු කළ හැකිය. එසේම එම ව්‍යාපාර සාර්ථක කරගැනීමට රජයේ පූරණ සහය ලබා දේ. 

 

වන්දි හෝ සමාගම් කොටස් ලබා දී ඉවත් කිරීම 

ඇතැම් සේවකයන් වන්දි ලබා දී ඉවත් කළ හැකිය. එය ද දීර්ඝකාලීනව වාසිදායක වන අතර ඇතැම් සමාගම් පුද්ගලීකරණය කොට වෙළඳපොලට නිකුත් කිරීමේදී සේවකයන් හට ඉන් කොටස් ප්‍රමාණයක් ලබා දීම ද සළකා බැලිය හැකිය. එවන් ඉවත්වීම් සඳහා ද කැමති පිරිසක් මෙහි සිටී. 

 

සැමට විශ්‍රාම වැටුපක් ලැබෙන ක්‍රමයක් සකස් කිරීම 

රජයේ රැකියාවකට මිනිසුන් මෙතරම් කැමති වන ප්‍රධාන සාධකයක් නම් විශ්‍රාම වැටුප යි. ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථික සංකල්පයක්වන රජයේ රට හදන හරි පාර 88 සේවකයන්ට පමණක් විශ්‍රාම වැටුප් ලැබෙන ක්‍රමය වෙනුවට රටේ රැකියාවේ නියුතු සියළුම පුරවැසියන්හට විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ අවස්ථාව හිමි විය යුතුය. ඒ සඳහා අලු ත් කරන ලද සේවක අර්ථසාධක ක්‍රමයක් නිර්මාණය කළයුතුය. රජයේ හෝ පුද්ගලික අංශයේ වේවා සැමට සාධාරණ විශ්‍රාම වැටුපක් ලැබෙන ක්‍රමයක් නිර්මාණය කිරීමෙන් සේවකයන් රජයේ සේවයෙන් ඉවත් වීමට මැළි නොවනු ඇත.

 

රට රැකියා සඳහා අවස්ථාව සළසා දීම 

රජයේ සේවකයන් ද බොහෝ දෙනෙකු රට රැකියා සඳහා යෑමට කැමැත්ත පළකර සිටියේ ය. ඒ අනුව විදෙස් රැකියා සඳහා යෑමට කැමති හා සුදුසු සේවකයන් හට විදෙස් රැකියා සොයා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු. 

 

මෙම ක්‍රමවේදයන් මගින් යම් කාල පරාසයක් තුළ රජයේ සේවකයන් ගණනය කරන ලද ඉලක්කගත ක්‍රමයකට ඉවත් කරගැනීම සිදුකර ගත හැකිය. එය වසරකට කොපමණ දැයි ගණනය කර වසර 5 ක පමණ කාලයක් තුළ සැලසුම් කර සිදුකර ගත හැකිය. එනයින් රජයේ සේවකයන් ඉවත්කර ගැනීම අපහසු කටයුත්තක් නොවේ. වර්ධනය වන ආර්ථිකයක ගොඩනැගෙන ආර්ථික අවස්ථා උපයෝගී කරගනිමින්, වඩාත් හොඳ ආදායම් ඇති රැකියා යහෝ වෙනත් ව්‍යාපාර අවස්ථා වලට යොමු කිරීම වඩා ප්‍රායෝගික විසඳුමක් යැයි අප විශ්වාස කරන්නෙමු.

 

 

රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණය

ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් කිරීමට නම් අප රටේ ප්‍රධාන මුල්ගල් තුනක් වෙනස් කළයුතු බව අපගේ මතයයි. රටේ දියුණුවද පැවැත්ම ද අනෙකුත් සියළුම ක්ෂේත්‍රයන්ගේ පරිවර්තනය ද මෙම ක්ෂේත්‍ර තුන මුල්කරගෙන, ඒවායේ ඇති වන නව්‍යකරණය වීම්, වෙනස්වීම් හා දියුණුවීම මත ඉදිරියට යනු ඇත. රටක පදනම දමන එම ක්ෂේත්‍ර තුන නම් යහපත් දේශපාලනය, කාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය සහ නීතියේ පරමාධිපත්‍ය වෙයි. 

 

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ බහු පක්ෂ සහිත යහපත් දේශපාලනයක් නිර්මාණය කරගත යුතු අතර එය අප සමාජයේ සිදුවන කාලීන පරිවර්තනයක් වේ. එය ඉබේ පහලවීමක් සිදුනොවනු ඇත. එම දේශපාලන වෙනස රැගෙන ඒම සඳහා අප එකා මෙන් වෙහෙසවී සාමූහිකව කටයුතු කළ යුතුව ඇත. වත්මන් දේශපාලන ක්‍රමයේ මෙන්ම පුරවැසි චින්තනයේ ද ඇති වන සාමුහික වෙනස්වීමක් මේ රටට අත්‍යාවශ්‍යය. එම වෙනස ඇති කරගැනීමත්, එය පවත්වාගෙන යෑමත් අප පරම්පරාව ඉදිරියේ ඇති සාමුහික වගකීමක් ද වෙයි. ඒ සඳහා නව දේශපාලන දර්ශනයක්, නව ආරක දේශපාලන නායකත්වයක් අප නිර්මාණය කරගත යුතුව තිබේ. අප මේ නියැලී ඉන්නේ ඒ බාර ධූර කාර්යයේ බව ඔබට සතුටින් දන්වනු කැමැත්තෙමු. එම යහපත් දේශපාලනය නම් සරු කෙතේ පළමු මුරයේම අප වැපිරවිය යුතු බෝගය නම් කාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයයි. එනයින් අනෙකුත් සියළු ප්‍රතිසංස්කරණ වල මධ්‍යයේ තිබිය යුතු, ඒවායේ සාර්ථකත්වයට සෘජුවම බලපාන රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස අප සළකන්නෙමු. 

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය සකස් වී ඇත්තේ පැරණි ලෝකයේ ප්‍රචලිත වූ වෙබේරියන් ක්‍රමයට ය. යටත් විජිත පාලනයෙන් මෙරටට උරුම වූ රාජ්‍ය පරිපාලන ක්‍රමයක් වූ එය, රටේ අනෙකුත් ක්ෂේත්‍ර මෙන්ම කාලීනව වෙනස් නොවුණි. එම ක්ෂේත්‍රය යාවත්කාලීන කිරීම පිළිබඳව කථිකාවතක් තිබුනේ යැයි පෙනෙන්නට ද නොමැත. බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ඔවුන්ගේ ක්‍රමයක සිටිමින්, ක්‍රමිකව සමාජවාදී රාජ්‍යයන් වෙත නැඹුරු වූ ශ්‍රී ලංකාව බි්‍රතාන්‍යයන් දැමූ වෙළඳපොල පදනමත්, ලෝකයේ කොමියුනිස්ට් වාදයේ නැග්මෙන් ඇති වූ මතවාදී ඝට්ටනයත් අතර දෝලනය වෙමින්, ඒ සියල්ලට යටින් තිබූ ජාතිවාදී ගැටළුත්, බෙදුම්වාදයත් කරපින්නා ගෙන එකම තැන පල් වූවා යැයි සිතිය හැකිය. පැරණි ක්‍රමවේදයන් වල ගෝලීයව ඇති වූ යාවත්කාලීන වීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තරම් දේශපාලන බල අධිකාරීන් සාර්ථක වූයේ නොමැත. ඒ වෙනුවට වසර 30 ක සිවිල් යුද්ධයකට කොටු වූ අප, එහි ප්‍රථිපලයක් ලෙස තත්ත්වය වඩාත් සංකීර්ණ කර ගනිමින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභා පිහිටුවා ගත්තේ ය. 

 

13 වන සංශෝධනය ඔස්සේ පළාත් සභා පිහිටුවා ගැනීමෙන් රාජ්‍ය පරිපාලනය තව දුරටත් විශාල අකාර්යක්ෂම පද්ධතියක් බවටත්, රජය විශාල වීමත්, රාජ්‍ය වියදම් ඉහළ යෑමත් සිදු වූයේ ය. එසේම රාජ්‍ය සේවාවල තවත් එක් ප්‍රතිරෝදයක් එල්ල කරන ස්ථරයක් නිර්මාණය කිරීම තුළ වංචා දූෂණ කෙරෙහිද තවත් එක දොරටුවක් විවර කළේ ය. රාජ්‍ය පරිපාලනය තවත් කුඩා ඒකක වලට බෙදීම තුළ තීරණ ගැනීමේ බලය විශේෂ වාසියක් නොමැතිව විසිරී යෑමක් සිදු වූ අතර, ඇතැම් කටයුතු අඩාල කරවන්නක් වූයේ ය. 

 

මේ ගැටළු හඳුනා ගනිමින්, රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ ඔබට මෙසේ ඉදිරිපත් කිරීමට අපට හැකිය. 

 

  1. නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම. 
  2. රජය කුඩා කිරීම හා රාජ්‍ය බලවත් කිරීම. 
  3. රාජ්‍ය පරිපාලන මොඩලය වෙනස් කිරීම සහ නව රාජ්‍ය කළමනාකරණය හඳුන්වා දීම. 
  4. e-Governance හෙවත් ඩිජිටල්කරණය 
  5. විශ්‍රාම අරමුදල් ප්‍රතිසංස්කරණ. 
  6. වංචා දූෂණ වැළක්වීම. 
  7. රජයේ සේවකයන් අඩු කිරීම.

 

විදේශ

ශ්‍රී ලංකාව නම් රාජ්‍යය ලෝකයේ පවතින්නේ තවත් රාජ්‍යයන් 200 ක් සමග ය. මේ රාජ්‍යයන් කිසිවක් තනිව නොපවතින අතර අනෙකුත් රාජ්‍යයන් සමග අන්‍යොන්‍ය වශයෙන් සබඳතා පවත්වා ගෙන යමින් එකිනෙකාට සුදුසු වූ ක්‍රියාකාරකම් වල කටයුතු කරති. මානව ශිෂ්ඨාචාරය බිහිවූ දිනයේ පටන් ක්‍රමයෙන් එකිනෙකා සමග මුහුවීම ඇරඹූ ඔවුහු වර්තමානය වනවිට අත්කරගෙන තිබෙන තාක්ෂණික දියුණුව, සන්නිවේදනයේ දියුණුව සහ ප්‍රවාහනයේ දියුණුව හේතු කර ගෙන මුළු ලෝකයක් ලෙස පොදු ශිෂ්ඨාචාරයකට අනුගත වෙමින් පවතී. එම ක්‍රියාවලිය ගෝලීයකරණය ලෙස සරලව හැඳින්වූවත්, එහි සම්පූර්ණ අර්ථය සරලව වටහා ගැනීම පහසු නොවේ. 

මුල් අවධියේදී පුංචි පුංචි රෑන් ලෙසත්, අනතුරුව ගෝත්‍ර ලෙසත්, පසු කලෙක රාජ්‍යයන් ලෙසත් සංවිධානය වූ මිනිසා වර්තමානය වන විට සිය රාජ්‍ය සීමාවෙන් ඔබ්බට යමින් ගෝලීය රාජ්‍යයක් ලෙස සංවිධානය වීම ඇරඹී තිබේ. මිනිසා යනු තව දුරටත් රාජ්‍යය නම් සීමාවෙන් වට වුන, රාජ්‍යයට සීමා වූ ජීවියෙකු නොව, දේශසීමා තුනී කරමින් ලෝකය පුරා සැරිසරන ගෝලීය පුරවැසියෙකු වීමට නියමිතය. ලෝකය එසේ ගමන් කිරීම පිළිබඳව සමාජයක සියලු ම පාර්ශවයන් එකඟ නොවේ. ජාතිකවාදී සංකල්ප පෙරදැරි කරගත් රාජ්‍යයන් ලෝකය සමග මුහුවීමට එතරම් විවෘත නොවුණත්, ලෝකය පැමිණි ගමන දෙස බැලීමේදී ලෝකයා නිරන්තරයෙන් ගමන් කොට ඇත්තේ ගෝලීයකරණය දෙසට මිස රාජ්‍යයන් තුළ සිරවීමට නොවේ. 

සිය සංස්කෘතික අනන්‍යතාවයන් අහිමි වේදැයි බියෙන් මිනිසුන් එසේ කටයුතු කරත්, රාජ්‍යයන් තුළ සිරවීම සාර්ථක විසඳුමක් වී නොමැත. එනයින්, නිරන්තරයෙන් වෙනස්වන ලෝක ස්වභාවය තේරුම් ගෙන අප හැකි ඉක්මනින් අනුගත විය යුත්තේ ලෝකයට විවෘත වීමටයි. එසේ කිරීමෙදී අප සතු අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමත්, ස්වෛරීත්වය හැකිතාක් දුරට රැකගැනීමත් වැදගත් වෙයි. අප කළ යුත්තේ ලෝකයෙන් සැඟවීම නොව වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ලෙස ලෝකය සමග බැඳීමය. එසේ කිරීමෙන් නූතන ලෝකයේ වැදගත් මරමස්ථානයක් බවට පත් වීමය. මෙහිදි සිදු වන ප්‍රමාදය අප ජාතිය අනාගතයේදී ලෝකය තුළ හුදෙකලා කරනු ඇත. 

ලෝකය වේගයෙන් ඉදිරියට ගිය කල, අනෙකුත් ජාතීත් ඒ සඳහා අවශ්‍ය නූතන ක්‍රමවේදයන් අනුගමනය කරමින් එම නව ගෝලීය සමාජය තුළ සිය අනන්‍යතාවය නිර්මාණය කරගෙන ස්ථාවර වෙද්දී, අප එය සිදුකර නොගන්නේ නම්, අප එම නව සමාජය තුළ කොන් වනු ඇත. එසේ වීම තුළ අනාගතයේ දවසක මේ රටේ පුරවැසියන් අසරණ වීම වැළක්විය නොහැකිය. එනයින්, අප දැන් සිටම මේ තත්ත්වයට මුහුණ දීමට සූදානම් විය යුතු බව අප විශ්වාස කරන්නෙමු. 

ජාතික හරිත පෙරමුණේ විදෙස් ප්‍රතිපත්තිය සකස් වනුයේ ඒ පදනම මුල් කරගෙන ය. අනාගත ලෝකයක ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාව ප්‍රමුඛ තැනකට ස්ථාන ගත කරවීම අපගේ අරමුණයි. එම නිසා අපගේ විදෙස් ප්‍රතිපත්තිය මෙසේ ඔබට ඉදිරිපත් කරන්නෙමු. 

 

නූතන ගෝලීය දේශපාලනය අවබෝධ කර ගැනීම.

ලෝකයේ පොදුවේ බහුලව ක්‍රියාත්මකවන දේශපාලන මතවාදය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යැයි සැළකිය හැකිය. දෙවන ලෝක යුද්ධයෙන් පසු අවසන් වූ ෆැසිස්ට් වාදයත්, සීතල යුද්ධය අවසානයේ අවසන් වූ කොමියුනිස්ට් වාදයත් ලෝක දේශපාලනය විවෘත කළේ බටහිර කඳවුර ප්‍රමුඛ කරගත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයටයි. ලෝක බලවතා ලෙස ඇමෙරිකාවේ නැග්මත්, එම බලවතා විසින් නිර්මාණය කරන ලද ගෝලීය සම්මත රාමුවත් ප්‍රජාතන්ත්‍රවාදයටත්, නිදහස මූලික කරගත් මානව හිමිකම් රැකෙන, පුද්ගලික නිදහසට රාජ්‍ය මැදිහත් නොවන, විවෘත හා නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමයත් පොදුවේ ලෝකය පිළිගත් දේශපාලන ධර්මතාවය බවට පත් වූයේ ය. 

එනම්, ලෝකයේ බහුතරයක් රාජ්‍යයන් මේ වනවිට පාලනයවන පොදු දේශපාලන මතවාදය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යැයි පිළිගත හැකිය. එහෙත් වර්තමානය වනවිට මේ තත්ත්වය තුළ යම් වෙනස් කමක් දක්නට ලැබේ. සීතල යුද්ධයෙන් පසුව තනි බලවන්තයෙකු ලෙස ඒක කේන්ද්‍රීයව ලෝකය තුළ සිය අණසක පැතිරවූ ඇමෙරිකාව දැන් දුර්වල වී තිබේ. මීට පෙර පැවති අධිරාජ්‍යයන් දුර්වල වී කලකදී අවසන් වූවා සේම ඇමෙරිකාව ද වේගයෙන් සිය දෛවයට සමීප වෙමින් තිබේ. ඔවුන් පරයා නැගී සිටින්නට සමත් වී ඇත්තේ ගෝලීය නැගෙනහිර කඳවුරයි. චීනය ප්‍රමුඛ කරගත් නව බල කඳවුරු ඇමෙරිකාව අභිබවා වර්ධනය වීම වගේම ලෝකයේ නැගී එමින් පවතින විශාල රාජ්‍යයන් එක්ව කටයුතු කරමින් ඇමෙරිකාවේ තනි බලයට අභියෝග කිරීම අපට මේ කාලයේ දක්නට ලැබේ. 

එනම්, මින් ගම්‍ය වන්නේ අප සිටින්නේ ලෝක බලවතාගේ කිරුළ ඇමෙරිකාවෙන් ගැලවී මීළඟ බලවන්තයාට මාරුවන පරිවර්තන කාලයකටයි. ඇමෙරිකානු හෙජමොනියට විරුද්ධව නැගී සිටින ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් අතර විවිධ මට්ටමේ ශක්තීන් ගැබ්ව ඇති බැවින් ලෝකය බහු කේන්ද්‍රීය අසමතුලිතතාවයකට පැමිණ ඇතැයි කිව හැකිය. එහි ප්‍රතිඵලය නම්, මේ ගෝලීය දේශපාලන බලයන් එකිනෙකා පරයා යෑමට දරණ වෑයම නිසා ලෝකයේ ක්‍රියාකාරීත්වය සුමට නොවීම ය. අස්ථාවර දේශපාලන තත්වයන් ඕනෑම මොහොතක වර්ධනය විය හැකි අතර, එසේ වන සෑම මොහොතකම ලෝකයේ ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටෙයි. මේ කාලය නිරන්තර ආර්ථික කම්පනයන් ඇතිවන, බහුවිධ ගෝලීය අර්බුධ මතු වන අභියෝගාත්මක කාලයකි. එනයින්, එම තත්ත්වය දැන් අවබෝධ කර ගෙන අප විදෙස් ප්‍රතිපත්තිය සකස් කර ගත යුත්තේ ය. 

 

නූතන ගෝලීය ආර්ථිකය අවබෝධ කර ගැනීම. 

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නම් දේශපාලන මතවාදයෙන් පසුබිම තැනුණු ලෝකයක එහි ආර්ථිකය නිර්මාණය කෙරුණේ වඩාත් විවෘත, තරගකාරී, හා නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් මූලික කර ගෙනය. ධනය ජනිත කිරීමට වඩාත් සුදුසුම ක්‍රමය නම්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවක් තුළ ලෝක සාමය පවත්වා ගනිමින්, වෙළඳපොල සඳහා උපරිම අවස්ථාව ලබා දීම යැයි ලෝකය පොදුවේ පිළිගෙන තිබේ. එම නිදහස් වෙළඳපොල මගින් ඇති කරනු ලබන ප්‍රතිලාභ මිනිස් සමාජයට අවශ්‍ය ගාමක බලය සපයන අතර, එම ප්‍රතිලාභ සිය උත්තේජනය කරගත් මිනිසුන් නව නිපැයුම් කිරීමටත්, නිර්මාණශීලී වීමටත්, එමගින් ලෝකයට අලු ත් අලු ත් දෑ තිළිණ කිරීමටත් පෙළඹවීම සිදු කෙරිණ. 

ලෝකයේ රාජ්‍යයන් ස්වෛරීත්වය අනුව වෙන් වී සිටිය ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් වී එහි කොටස් ලෝකය පුරා විභජනයකට ලක් වී තිබේ. ලෝකයේ එක් රටක ප්‍රාග්ධනය තවත් ඕනෑම රටක් කරා ගලා යා හැකි වෙයි. එම භාණ්ඩ හා සේවා ද, ප්‍රාග්ධනය ද, ශ්‍රමය ද දේශසීමා විසින් නිර්මාණය කරන බාධාවන් බිඳ ගෙන, අවම බාධාවන් ඇති තැන් වලට ගලාගෙන ගොස් තිබේ. එනම්, දේශසීමා වලින් රාජ්‍යයන් වෙන් වුවද, වෙළඳපොල මගින් ඒවා එකිනෙකට යා කොට තිබේ. 

එක් රටක නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍යයක්, නිමි භාණ්ඩයක් වී පාරිභෝගිකයා අතට පත් වීමට සාමාන්‍යයෙන් රටවල් පහක වත් දේශසීමා පසුකළ යුතු බව සොයා ගෙන තිබේ. එම අමුද්‍රව්‍ය ද භාණ්ඩ ද සේවා ද ප්‍රාග්ධනය ද ශ්‍රමය ද පහසුවෙන් ගලා යෑමට ඉඩ ලබා දීම සාර්ථක වෙළඳපොලක් ඇති කිරීමට ඇති මූලික පදනමයි. එනයින්, ලෝකයම එකක් ලෙස බැඳුන ආර්ථික ක්‍රියාවලියක අපි ද කොටස් කරුවන් වෙමු. එසේ ලෝකය සමග සාර්ථකව මුහුවීමට නම්, අපි ආ එම වෙළඳපොල ක්‍රමයට හොඳින් අනුගතවීම අත්‍යාවශ්‍ය වෙයි. එහි ලා විදෙස් සේවා වලට විශාල වගකීමක් පැවරෙයි. එනයින් අපගේ විදෙස් සේවා ප්‍රතිපත්තිය තුළින් ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලට භාජනය කරනු ලැබේ.

 

තාක්ෂණයේ දියුණුව සහ ගෝලීයකරණය, ගෝලීය පුරවැසියන් බිහි වීම. 

තාක්ෂණයේ දියුණුව ද සන්නිවේදනයේ දියුණුව ද ප්‍රවාහනයේ දියුණුව ද අද ලෝකයේ කුමන ස්ථානයේ සිටින මිනිසෙකු වුව ද එකිනෙකා සම්බන්ධ කරගැනීම ඉතා පහසු කටයුත්තක් බවට පත් කොට තිබේ. භාෂාවෙන්, සංස්කෘතීන්ගෙන්, භෞතික දුරින් හා දේශසීමාවලින් ඈත්ව හා වෙන්ව සිටි මිනිසුන් දැන් පහසුවෙන් එකිනෙකා සමග මුහු වෙති. අදහස් බෙදා ගනිති. 

තරඟකාරී වාසි සහගත වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීම පිණිස වෙළඳ ගිවිසුම් අත්සන් කෙරෙති. රාජ්‍යයන් විසින් ස්වෛරීත්වය ආරක්ෂා කරනු වස් මෙතෙක් රැකි දේශසීමාවන් බොඳ කර හරිමින් මිනිස් අවශ්‍යතාවයන් හට ඇති බාධාවන් ඉවත් කර ගනිමින් සිටියි. ආර්ථික කළාප බිහිවෙති, එකිනෙකා විවෘත වෙති, නිදහස් වෙති, රාජ්‍යයන් එකි නෙක යා වෙති, සම්බන්ධකම් ඉහළ දා ගනිති, කළාපීය ආර්ථික සංවිධාන බිහිවෙති. 

මේ සියල්ලේ සමස්ත ප්‍රතිඵලය නම්, රාජ්‍යයන් ලෙස සංවිධානය වූ ගෝලීය දේශපාලනය ක්‍රමිකව එහි අනාගතයට පරිවර්තනය වන බවයි. එනම්, රාජ්‍යයන් සියල්ලම පොදුවේ ආර්ථික කටයුතු වල නියැලෙන, පොදු දේශපාලන මතවාදයක් තුළ ගොඩනැගුණ, සැමට පොදු හා සමාන අවස්ථා ලැබෙන ගෝලීය රාජ්‍යයක් බිහිවීම අපේ අනාගතයයි. අප විදෙස් ප්‍රතිපත්තිය තුලින් බලාපොරොත්තු වන්නේ මේ ගමන පහසු කරවගෙන අපි එම ලෝකයේ සැළකියයුතු කොටස් වරුවකු බවට පත් වීමයි. 

 

නූතන ගෝලීය අර්බුද අවබෝධ කර ගැනීම. 

ලෝකයේ වෙන් වෙන් රාජ්‍යයන් එකිනෙකාට ආවේණික වූ අර්බුද හා ගැට`ඵ වලට මුහුණ දුන්නද අද ලෝකයක් ලෙස මුහුණ දෙන අර්බුදයන් හැමෝටම පොදු ඒවා වෙති. එම ගෝලීය බහු අර්බුදවල ස්වභාවය නම්, ඒවා එකිනෙකට වෙනස් කරුණු පදනම් කර ගනිමින් ඇති වී තිබීම ය. එසේම ඒවා තනි තනි රාජ්‍යයේ ක්‍රියාකාරිත්වයෙන් විසඳා ගැනීම කළ නොහැක්කකි. එම බහු අර්බුද ගෝලීය වන්නා සේම, ඒවායේ විසඳුම් ද ගෝලීය ය. ඒවාට පුළුල් දායකත්වයක් ලබාදීම සහ සාකච්ඡාවක් ඇති කරගැනීම අත්‍යාවශ්‍ය ය. එම බහු අර්බුද කළමනාකරණය කරගැනීමට ලෝකය සමග එක්ව පොදු වැඩපිළිවෙලක කටයුතු කළයුතු අතර, ඒවාට අවශ්‍ය සහය ලබාදීම අප විදෙස් සේවා මගින් කළයුතු වැදගත් රාජකාරිය කි. 

 

 

බලශක්ති

බලශක්තිය යනු ඕනෑ ම රටක මූලික අවශ්‍යතාවයක්වන අතර ඒ රටේ ආර්ථිකයට පදනම සකස් කරන ප්‍රධානම සාධකයකි. එම බලශක්තිය විවිධ ස්වරූපවලින් පවතින අතර මිනිස් සමාජයක පැවැත්මට ඒ සිය`ඵ ස්වරූපවල සමස්තය යොදා ගැනීම සහ සංකලනය වැදගත් වෙයි. 

බලශක්තිය විසින් ආර්ථිකයක ගාමක බලය සපයන අතර, එහි විශ්වාසනීයත්වය මත ආර්ථිකයේ පැවැත්ම රඳා පවතී. එනයින්, මිනිස් සමාජයක් නිරන්තරයෙන් බලශක්තිය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් ලබාදුන් අතර, එම අවධානය යුගයෙන් යුගයට ඉහළ ගොස් තිබේ. තාක්ෂණයේ දියුණුවත්, නූතන ජීවන රටාවත් මිනිසාගේ බලශක්ති පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ දමා තිබේ. එනයින්, බලශක්තිය යනු නූතන මිනිස් සමාජයක පැවැත්ම තහවුරු කරන සාධකයක්වන අතර ගුණාත්මක, විශ්වාසනීය, අඛණ්ඩ හා ලාභදායි බලශක්ති සැපයුමක් සකස්කර ගන්නාතුරු මිනිස් සමාජයකට සාර්ථක විය නොහැකිය. 

ගින්දර සොයා ගත් දින සිට මිනිසා සිය බලශක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිණිස විවිධ ආකාරයෙන් උපක්රම සකස්කර ගත්තේ ය. ක්‍රමයෙන් විවිධ දේ අත්හදා බැලූ ඔවූහු සිය ඉහළ යන අවශ්‍යතාවයන් දරවලින් පමණක් සංතෘප්ත නොවන විට අලු ත් ඉන්ධන ප්‍රභේද සොයා ගියේ ය. විටෙක දර ද, කලෙක තල්මසුන්ගේ තෙල් ද, අනතුරුව ගල් අඟු රු ද, පසුව ඛනිජ තෙල් ද මිනිසා විසින් භාවිතා කළේ ය. පසුගිය සියවස ගත්කළ බලශක්තියේ විශාල පරිවර්තන රාශියක් ඇති වී තිබේ. න්‍යෂ්ටික බලය, ස්වභාවික බලශක්ති ප්‍රභේද වේගයෙන් දියුණු වූයේ ය. 

 

සම්පත් යනු ලෝකය තුළ සීමාකාරී දෙයක් වුණත්, බලශක්තිය අවශ්‍ය සෑම මොහොතකදී ම මිනිසා විසින් එයට ප්‍රමාණවත් පිළිතුරක් සොයා ගත්තේ ය. එම නිසා මේ ලෝකය තුළ බලශක්තිය යනු කිසි විටෙක හිඟයකට ලක් වූ සම්පතක් නොවූයේ ය. බල ශක්තිය සීමාකාරී සාධකයක් වූවත්, අවශ්‍යතාවය පරිදි බලශක්තිය නිශ්පාදනය කර ගැනීමට මිනිසා සමත් වී තිබේ. ලෝකය නව සොයා ගැනීම් ඔස්සේ විවිධ බලශක්ති ප්‍රභේද භාවිතයට ගනිමින් නොනැවතී පරිවර්තනයට ලක් වූයේ ය. බලශක්ති ක්‍ෂේත්‍රය තුළ සිදුවන වෙනස්කම් පසුකාලීනව ගෝලීය දේශපාලනයේ බල පෙරළියන් සමග සමගාමීව සිදු වූයේය. බලශක්තියේ නව සොයා ගැනීම් සමග කාර්මීකරණයේ ද වෙළඳපොල තුළ ද තාක්ෂණයේ දියුණුවේ ද විශාල ධනාත්මක වෙනස්කම් ඇතිවූයේ ය. ඒවායේ ප්‍රතිඵලය වූයේ සාර්ථක මිනිස් සමාජයක් නිර්මාණය කිරීමට නම් සාර්ථක බලශක්ති සැපයුමක් නිර්මාණය කර ගැනීම අත්‍යාවශ්‍ය පදනමක් බව ලෝකයට සනාථ වීම ය. 

 

ඒත් සමග ම බලශක්තිය යනු නිරන්තරයෙන් වෙනස්වන, යාවත්කාලීනවන, නව සොයා ගැනීම්වලින් පරිවර්තනයන්ට ලක්වන වඩාත් තරගකාරී ක්‍ෂේත්‍රයක් බව මේ වනවිට පොදුවේ පිළිගැනේ. වර්තමානය වනවිට ද බලශක්ති ක්‍ෂේත්‍රය තුළ එවන් වූ ඓතිහාසික පරිවර්තනයක් සිදුවෙමින් පවතින යුගයකට අප එළැඹ සිටින්නෙමු. එනම්, පොසිල ඉන්ධනවලින් සියවසකට අධික කාලයක් සිය මූලික බලශක්ති අවශ්‍යතාවය සපුරා ගත් මිනිස් සමාජය ඉන් ඇති කරන ලද පාරිසරික අර්බුදයට පිළියමක් ලෙස විකල්ප බලශක්ති ප්‍රභේද වෙත හුවමාරු වීමයි. සුළං බලය, සූර්ය බලය මෙන්ම න්‍යෂ්ටික බලය ද වේගයෙන් නව දහරාවේ විකල්ප බලශක්ති උපක්‍රම ලෙස ඉදිරියට එද්දී, ලෝකය පොසිල ඉන්ධනවලින් ඈත් වීම අරම්භ කර තිබේ. දේශගුණික විපර්යාස වැළැක්වීම පිළිබඳව ඇති කරගත් අන්තර්ජාතික ගිවිසුම්වලට අනුව ලෝකය වර්තමානය වන විට බලශක්ති පරිණාමයකට ලක් වෙමින් පවතියි. එබැවින් රටක් ලෙස ද අප සිටින්නේ එම පරිවර්තනයට මුහුණ දෙමිනි. බලශක්ති ක්‍ෂේත්‍රයේ සිදුවන පරිවර්තනය පාරිසරික විඥානය අනුව අප ද සාදරයෙන් පිළිගනු ලබන අතර ඒ පිළිබඳව අවබෝධයෙන් බලශක්ති ප්‍රතිපත්තිය සකස් කළ යුතුව තිබේ. 

 

රටක දළ දේශීය නිෂ්පාදනයත් ඒ සඳහා යෙදවෙන බලශක්තියේ ප්‍රමාණයත් අතර සහසම්බන්ධයක් තිබේ. තවමත් සාපේක්ෂව කාර්මීකරණය නොවූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියනයක් නිර්මාණය කිරීමට යෙදවෙන බලශක්ති ප්‍රමාණය ටෙරාජූල් 0.47 ක් යැයි ගණන් බලා තිබේ. එය ගෝලීය අගයන්ට සාපේක්ෂව අඩු අගයක් යැයි සලකනු ලැබේ. රටක් ආර්ථික සංවර්ධනයට ලක් වන්නේ නම් එම රට කාර්මීකරණයට ලක්වීමත්, එහි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය වීමත් අපේක්ෂා කළ යුතු වෙයි. එසේම ජනතාවගේ ආදායම් ඉහළ යෑම මත ඔවුන්ගේ ද බලශක්ති පරිභෝජනය ඉහළ යෑම සිදු වෙයි. එනම්, අප රට සංවර්ධන මාවතකට යොමු කරන්නේ නම් එහි දී බලාපොරොත්තුවන දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයට සාපේක්ෂව බලශක්ති සැපයුමේ ද වර්ධනයක් ඇති කිරීමට අප සැලසුම් කළයුතු වෙයි. එසේම බලශක්ති සැපයුමේ වර්ධනයක් ඇති කිරීම වේගයෙන් කෙටි කාලයකින් කළ නොහැක්කක් බැවින්, දීර්ඝකාලීන සැලසුම් මතින්, වඩාත් විශ්වාසනීය, සුරක්ෂිත, තිරසාර සහ ලාභදායි බලශක්ති සැපයුමක් නිර්මාණය කර ගැනීම රජයක වගකීම වෙයි. 

 

රටක විශ්වාසනීය, සුරක්ෂිත, තිරසාර සහ ලාභදායි බලශක්ති සැපයුමක් නිර්මාණය කිරීම රටේ ආර්ථිකයේ ප්‍රගතියට සෘජුව ම බලපවත්වන අතර, ලෝකයේ ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ද එය ඉවහල් වෙයි. එබැවින්, එවන් බලශක්ති සැපයුමක් යනු වෙළඳපොල තුළ අප රට ගැන ඇති විශ්වාසය තහවුරු කරවන්නක් සේ ම, ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ඉන් සෘජු දායකත්වය ලැබෙයි. මේ එකිනෙක සම්බන්ධතාවය අවබෝධ කර ගෙන, ශ්‍රී ලංකාවට අවශ්‍ය බලශක්ති සැපයුමක් නිර්මාණය කර ගැනීමත් ඒ සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීමත් අපගේ පරම වගකීමකි. 

 

ලෝකයේ සිදුවන බලශක්තියේ පරිවර්තනයට සමාන්තරව සිදුවන අනෙක් විශාල ම පරිවර්තනය නම් ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ සිදුවන වෙනස්කමයි. පොසිල ඉන්ධන දහනයෙන් සියවසකට අධිකව ඉදිරියට ආ ප්‍රවාහන ක්‍ෂේත්‍රය විද්‍යුත් බලයට හුවමාරු වීම ඔස්සේ බලශක්ති ක්‍ෂේත්‍රය පරිවර්තනයකට ලක්වනවා පමණක් නොව, ලෝකයේ ම යටිතල පහසුකම්වල, නිෂ්පාදන සැපයුම් ජාලවල මෙන්ම කැධෑම් ක්‍ෂේත්‍රවල ද පුළුල් වෙනසක් ඇති කොට තිබේ. එමගින් ඇති කළ දැඩි ඉල්ලු ම මගින් නව රැකියා බිහි වීම වගේ ම වෙළඳපොල හැසිරීමේ වෙනස්කම් පවා ඇතිවී තිබේ. අප ද හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට සැළසුම් සකස් කරන මේ කාලය තුළ ලෝකයේ මේ වෙනස්කම් සැලකිල්ලට ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තකි. ඉතා කුඩා වෙළඳපොලක් වන අප ඉක්මනින් ලෝකයේ රිද්මයට අනුගත වීම වඩාත්ම ලාභදායි උප්‍රරමය වන බව අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළින් ඔබට පැහැදිළි කළෙමු. එනයින් අන්තර්ජාතික සම්මුතීන්ට අනූකුලව බලශක්ති පරිවර්තනයට අප ද යොමු වීම අපගේ ආර්ථිකය තුළ ද ගෝලීය රිද්මය පවත්වා ගැනීමට හැකියාව ලැබේ. එම නිසා බලශක්ති ක්‍ෂේත්‍රය වගේම ඊට අනුරූපීව ප්‍රවාහන, නිෂ්පාදන, තාක්ෂණික හා අධ්‍යාපන ක්‍ෂේත්‍රවල ද වෙනස්කම් සිදුකර ගැනීමට අප විවෘතව කටයුතු කළ යුතුය. 

 

තිරසාර සංවර්ධන ඉලක්ක වැඩපිළිවෙළ අනුව එහි 07 වන කරුණට අනුගත වී, එහි ඉලක්ක සපුරා ගනිමින් වසර 2050 වන විට කාබන් විමෝචනය උදාසීන කරගැනීමට එහි ජාතික වැඩපිළිවෙළට එකඟව ජාතික බලශක්ති ප්‍රතිපත්තිය නිර්මාණය කරගත යුතුය. එම ඉලක්කවලින් නික්මීමේ නිදහසක් අපට නොමැති අතර, එයට අනුගත වී වේගයෙන් ඉලක්ක සපුරා ගැනීම අපගේ අරමුණයි. 

 

 

ආර්ථික

රටක ආර්ථිකය යනු, යම් රටක තිබෙන හා අලු තෙන් ගොඩනගා ගනු ලබන සම්පත් ඒ රටේ පුරවැසියන් අතර බෙදී යන ආකාරය තීරණය කෙරෙන යාන්ත්‍රණයයි. රටක දේශපාලනය විසින් එම සම්පත් බෙදී යෑම නියාමනය කරනු ලබන අතර, එනයින් දේශපාලන මතවාදයන් ආර්ථික ක්‍රියාවලිය හා සෘජුව ම සම්බන්ධ වේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක දී රටේ බහුතර දේශපාලන මතය මත එහි ආර්ථිකයේ පාදක ප්‍රතිපත්ති තීරණය වන අතර ඒ ඔස්සේ සම්පත් ජනනය කිරීම හා බෙදීයෑම පිළිබඳව පොදු එකඟතාවයන් ඇති වේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුළ හඳුනාගත හැකි එක් ප්‍රායෝගික ගැටලු වක් වන්නේ බහුතර දේශපාලන මතය වරින් වර වෙනස් වෙද්දී , රටේ දිගුකාලීන ආර්ථික වර්ධනයට හානිකර අයුරින් ආර්ථිකය හා අදාළ මූලික ප්‍රතිපත්ති රාමුව ද වෙනස් වීමට ඇති හැකියාවයි. 

දේශපාලනයත් ආර්ථිකයත් අතර ඇති අන්තර් සම්බන්ධය අප රට හදන ප්‍රතිපත්තියක් සාකච්ඡා කරන අවස්ථාවක දී පැහැදිළි කරගැනීම අත්‍යාවශ්‍යය. මානව හිමිකම් සුරැකුණ, සැමට සමාන අවස්ථා ලැබෙන සමාජයක් තුළ සාධාරණ ලෙස සම්පත් බෙදී යන ආර්ථික ක්‍රමයක් බිහි වේ. එලෙස සාධාරණ ලෙස සම්පත් බෙදී යෑම පිණිස යහපත් දේශපාලනයක් තිබිය යුත්තේ ය. යහපත් දේශපාලනයක් නොමැති අවස්ථාවකදි සම්පත් බෙදී යෑම සාධාරණ නොවන බැවින්, දේශපාලන බලය අවභාවිතා කර ඇතැම් අයට සම්පත් අසාධාරණ ලෙස ගොඩ ගසා ගැනීමට හැකියාව ලැබීම සමාජයක් පිරිහීම කරා රැගෙන යයි. සම්පත් නිර්මාණය කරන්නන්ට එහි නියම අයිතිය නොලැබෙන, සීමිත පිරිසක් විසින් එම සම්පත්වල ප්‍රතිලාභ භුක්ති විඳින දේශපාලන ක්‍රමයක් නිර්මාණය වන්නේ එවන් අසාධාරණ සම්පත් බෙදී යෑමකට සමාජය ඉඩ කඩ ලබා දෙන අවස්ථාවන්වල දීය. 

එබැවින් රට හදන අපේ ආර්ථික ප්‍රතිපත්තිය, යහපත් රාජ්‍ය පරිපාලනය හා යහපත් දේශපාලනය නම් පදනම මත ගොඩනැගෙන ක්‍රියාවලියකි. මේ රට තුල ප්‍රමාණවත් තරම් සම්පත් ජනනය වීමට ඉඩ සැලසීම ද එම සම්පත් ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යෑම ද පිළිබඳව වගකියන දේශපාලන ක්‍රමයක් අපි ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නෙමු. 

ආර්ථික සැලසුම් ගැන කතා කිරීමට පෙර, අපි අපේ ශක්තීන් හා දුර්වලතාවයන් හඳුනා ගමු. 

ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික සැලසුමක මූලික ආකෘතිය තෝරා ගැනීමට පෙර අප විසින් මුලින්ම කළ යුත්තේ, ලෝකයට සාපේක්ෂව අපි සිටිනා තැන අවබෝධ කර ගැනීම ය. අපේ ශක්තීන් හා දුර්වලතාවලට සාපේක්ෂව හැකියාවන් හඳුනා ගැනීම ය. නූතන ගෝලීය ආර්ථිකය තුළ අපට සාර්ථක විය හැකි උපාය මාර්ග තෝරාගත හැක්කේ ඉන් අනතුරුවය. ඒ අනුව, යමින් අපි සුවිශේෂී කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු. 

 

ශ්‍රී ලංකාව යනු කුඩා රාජ්‍යයකි. 

බිලියන 8 ක් වන ගෝලීය ජනගහනයට සාපේක්ෂව මිලියන 22 ක කුඩා ජනගහනයකින් සමන්විත ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි ය. එහි අනෙක් අර්ථය නම් දැවැන්ත ගෝලීය වෙළඳපොලට සාපේක්ෂව අපේ දේශීය වෙළඳපොල ඉතා කුඩා එකක් බවයි. ඩොලර් ටි්‍රලියන සියය ඉක්මවන ලෝක ආර්ථිකය තුළ අපේ පංගුව 0.1% කටත් වඩා අඩු ය. ගෝලීය ජනගහනයෙන් 0.3% කටත් වඩා අඩු පංගුවක් හා ලෝක ආර්ථිකය තුළ එයින්ද හතරෙන් එකක් පමණ වන ඉතා කුඩා පංගුවක් නියෝජනය කරන ශ්‍රී ලාංකික අප, අපේ දියුණුව ඉලක්ක කිරීමේ දී ලෝකය සමග සෘජුව ම මුහුවී කටයුතු කිරීම අත්‍යාවශ්‍ය ය. අන්තර්ජාතික ප්‍රජාව හා වෙළඳපොල අපේ ගමන් සගයා විය යුතුය. ශ්‍රී ලංකාවෙන් බාහිර ලෝකය තුළ සිදු වන සම්පත් ජනනය වීමේ ක්‍රියාවලියට අප විසින් සෘජුව සම්බන්ධ විය යුතු අතර එම සම්පත්වලින් හැකි තරම් විශාල පංගුවක් අප විසින් දිනා ගැනීම පිණිස නොබියව ලෝකය සමග තරඟ කිරීමට සූදානම් විය යුතුය. 

 

ශ්‍රී ලංකාව යනු දියුණු වෙමින් පවතින, අඩු ආදායම්ලාභී රාජ්‍යයකි. 

ශ්‍රී ලංකාව යුරෝපීය අධිරාජ්‍යවාදීන් විසින් වසර 447 ක් යටත් කර ගෙන සිටි අභ්‍යන්තරයෙන් විනාශ වූ සූරා කෑමට ලක් වූ රාජ්‍යයකි. එම අධිරාජ්‍යවාදීන් විසින් වැවිලි ආර්ථිකයකට තල්ලු කර හරින ලද, දියුණු නොකළ මානව සම්පතකින් සමන්විත මේ රටේ නිදහසෙන් පසු දේශපාලනය තුළ රට ඉදිරියට ගෙන යෑමට කිසිවෙකු සමත් වී නොමැත. නිදහසෙන් පසුව ඇතිවූ දේශපාලන ක්‍රමය තුළ රට ඉදිරියට ගෙන යන පැහැදිළි දැක්මක්, සැළසුමක් දකින්නට නොමැති වීම තුළ, එවන් දැක්මක් ඇති නායකයින් පාලනයට නොපැමිධෑම තුළ, රට දශක ගණනාවක් නුසුදුස්සන් අතින් පාලනය වූයේ යැයි කිව හැකිය. එහි අවසන් ප්‍රතිඵලය නම් අප තවමත් ආර්ථික සංවර්ධන ළඟා කර ගැනීමට නොහැකි වූ දුප්පත් ජාතියක් ලෙස ලෝකය තුළ ඉතිරි වීමය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඡන්ද බලයෙන් ආණ්ඩු වෙනස් වුව ද පරිපාලන ක්‍රමයේ වෙනසක් ඇති නොවීම මත මේ රටේ ආර්ථිකය ලෝකයේ දුර්වල ම තැනකට රැගෙනවිත් තිබේ. අපිට අලු තින් නිර්මාණය කිරීමට ඇත්තේ මේ ආර්ථිකයයි. එනයින්, අප සිටින තැන අවබෝධ කර ගෙන, එතනින් නැගී සිටීමට සුදුසු දැක්මක් ඇති සැළැස්මකට රට මෙහෙය වීම අපගේ ආර්ථික ප්‍රතිපත්තිය තුළින් ඔබට ගෙන ඒමට අප බලාපොරොත්තු වන්නෙමු. 

 

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි දූපතකි. 

ශ්‍රී ලංකාව යනු ඉන්දියාවට සමීපයේ පිහිටි වර්ග කිලෝමීටර් 65610 කින් යුක්ත වූ කුඩා දූපතකි. ඉන්දියාව නම් වූ බිලියන 1.4 ක ජනගහනයක් සිටින, මිල දී ගැනීමේ පදනම අනුව ලෝකයේ තුන් වන ලොකුම ආර්ථිකය අපට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටා තිබේ. ඉන්දියාව ද අයත් දකුණු ආසියාව නම් ආර්ථික කලාපයද ඇතුළුව ලෝකයේ වැදගත්ම ආර්ථික කලාප 7 කට මැදිව ශ්‍රී ලංකාව පිහිටා තිබේ. දකුණු ආසියාව, මැදපෙරදිග, යුරෝපය, අප්‍රිකාව, අග්නිදිග ආසියාව, චීනය සහ පැසිෆික් යන ආර්ථික කලාපවල මධ්‍යයේ පිහිටා තිබීම ශ්‍රී ලංකාව සතු සුවිශේෂී පිහිටීමේ වැදගත් කමයි. එනම්, එම ආර්ථික කලාප පිහිටි මහද්වීප 4 වන ආසියා, යුරෝපා, අප්‍රිකා සහ ඕස්ටේ්‍රලියා යන මහද්වීප 4 ට මැදිව තිබෙන මේ පුංචි දූපත එහි පිහිටීම හේතුවෙන් උපාය මාර්ගික ලෙස ඉතාමත් වැදගත් රටකි. ලෝකයේ ප්‍රධාන මුහුදු මාර්ගයක පිහිටීමත්, වරායන් තැනීමට සුදුසු ගැඹුරු මුහුදු සීමා වලින් යුක්ත වීමත්, මහද්වීප යා කරන ගුවන් මාර්ගවලට නුදුරේ පිහිටා තිබීමත්, ලෝක බලවතෙකු ලෙස නැගී එන ඉන්දියාවට සමීප වීමත් යන කරුණු ශ්‍රී ලංකාව මේ යුගයේ ලෝක සිතියමේ තිබෙන වැදගත්ම රාජ්‍යයක් බවට පත්කර තිබීම පුදුමයට කරුණක් නොවේ. ඒ නිසාමදෝ භූ දේශපාලනිකව ශ්‍රී ලංකාවට මේ යුගයේදී අත්වන වැදගත්කම ඉතිහාසයේ පෙර නොතිබූ තරම් යැයි කිව හැකිය. මෙම භූ දේශපාලනික වැදගත්කම ඇතැම් විට අප අගතියට පත් කරවන සුළු වූවත්, නිසි අයුරින් එය කළමනාකරණය කර ගැනීම මත එය රටේ වැදගත්ම සම්පත බවට පත් කර ගත හැකිය. එනම්, අප සතු ප්‍රභල ම සම්පත නම් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමයි. 

 

ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත් වලින් අනූන රාජ්‍යයක් නොවේ. 

ලෝකයේ ඇතැම් රාජ්‍යයන් සැලකීමේ දී ඒ රාජ්‍යයන් දියුණු කර වීමට භූමියේ තිබූ ස්වාභාවික සම්පත් ප්‍රමාණය හේතු වී තිබේ. එහෙත්, තෙල්, ගෑස් හා ගල් අඟු රු වැනි ෆොසිල ඉන්ධන, යකඩ, ඇලු මිනියම්, තඹ, සින්ක් ආදී සුලබ ලෝහ වර්ග, නැතිනම් නූතන තාක්ෂණික උපකරණවලට අවශ්‍ය වන දුලබ ලෝහ වර්ග ආදියේ විශාල නිධි ශ්‍රී ලංකා භූමියේ පිහිටා නොමැත. ග්රැෆයිට්, ඉල්මනයිට්, සහ පොස්පේට් අඩංගු සාපේක්ෂව කුඩා නිධි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇතත් ඒවා රටේ සමස්ත ආර්ථිකය පවත්වා ගෙන යා හැකි මට්ටමේ සම්පත් නොවේ. 

අපට තිබෙන කුඩා ස්වාභාවික සම්පත් ප්‍රමාණය කළමනාකරණය කරගැනීම හා ඒවාට අගය එකතු කිරීම කළයුතු වූවත්, රටේ ආර්ථිකයේ බර එම සීමිත ස්වාභාවික සම්පත් කොටසට දැරිය නොහැකි ය. 

එහෙත් විශාල ඉන්දියන් සාගරයේ වැදගත් තැනක පිහිටීමත්, රට දූපතක් වීමත්, වනාන්තර සහ ස්වභාවධර්මය හේතු කොට ගෙන වෙරළ, සයුර, වනය, සතා සිවුපාවන් අපට ආර්ථික සම්පත් තනා දී තිබේ. 

එසේම, වසරක 2500 ක ඉතිහාසයක් පුරා ගොඩ නැගුණු වාරිකර්මාන්ත මෙන්ම, වගා කළ සරු සාර භූමියත්, අතීත ශිෂ්ඨාචාරවලින් ඉතුරු වී ඇති නෂ්ඨාවශේෂත් නූතන ආර්ථිකයේ වැදගත් සම්පත් ලෙස අපිට හැඳින්විය හැකිය. 

 

මානව සම්පත 

ශ්‍රී ලංකාවේ ජනගහනය මේ වන විට මිලියන 22 ක් බව ද එබැවින් ජන ඝනත්වය වර්ග කිලෝමීටර් එකකට මිනිසුන් 342 ක් බව ද අපි දනිමු. එය සාපේක්ෂව අධික ජන ඝනත්වයක් යැයි අපිට කිව හැකි ය. 

ඒත් මේ මානව සම්පතෙහි ගුණාත්මකභාවය කොපමණ දැයි අපෙන් ප්‍රශ්න කළහොත් එයට ලබා දීමට ඇති පිළිතුර එතරම් සුබදායක නොවේ. රටක ආර්ථිකය සතු වටිනා ම සම්පත එරට මානව සම්පත බැව් අවිවාදයෙන් පිළිගත හැකිය. එහෙත් ඒ මානව සම්පත දියුණු නොකළ සම්පතක් නම්, ඉන් ආර්ථිකයට සිදු වන වාසිය එතරම් විශාල නොවේ. රටක මානව සම්පත දියුණු කිරීමේ ලා රජයකට විශාල කාර්යභාරයක් තිබේ. දියුණු කළ අධ්‍යාපනයක්, සෞඛ්‍යයක්, සංස්කෘතියක්, පරිසරයක් ආදී සියල්ලෙන් ඒ රටේ මානව සම්පත ගොඩනැගෙන අතර, ශ්‍රී ලංකාවේ එම සම්පත ඇත්තේ ලෝක සම්මතයෙන් දුර්වල වූ තැනක ය. අපි සතුව ඇත්තේ බහුතරයක් වූ නුපුහුණු ශ්‍රම සම්පතකි. නුපුහුණු ශ්‍රමිකයන්, කම්කරුවන්ගෙන් ගහන වූ අන්තර්ජාතික සම්මතයන්ට අනුකූලව වෘත්තීය පුහුණුවක් නොළද පිරිස බොහෝ ය. ඒ නිසා අප අද වනවිට විදේශීය ශ්‍රම වෙළඳපොල තුළ පවා ශ්‍රී ලාංකිකයන් යොමු වී ඇත්තේ ගෘහ පාලනය වැනි සේවාවන් සඳහා ය. වතු කම්කරුවන්, ඇඟලු ම් කම්හල් සේවකයන් ආදී අඩු වැටුප් ක්‍ෂේත්‍රවලට යොමු වීමට පුරවැසියන් විශාල ප්‍රමාණයකට සිදුවී තිබේ. එසේම ජනගහනයෙන් 25% කට ආසන්න පිරිසක් කෘෂි කර්මාන්තයේ ම නියැළෙන අතර, කාන්තාවන් අතරින් ආර්ථික ක්‍රියාවලියකට සෘජුව දායක වන්නේ තුනෙන් එකකි. මේ ආකාරයට අප සතු මානව සම්පත හඳුනා ගැනීම රට හදන ආර්ථික වැඩපිළිවෙලක අත්‍යාවශ්‍ය පදනමකි. 

 

ආර්ථික මතවාදය සහ දේශපාලන සාක්ෂරතාවය 

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ සාක්ෂරතාවය ඉහළ අගයක් ගත්ත ද ඉන් කියැවෙන්නේ ඔවුන්ගේ කියවීමට සහ ලිවීමට ඇති හැකියාව යි. ඒ අනුව අප මානව සංවර්ධන දර්ශකයේ ඉහළින් සිටියද රට තවමත් ආර්ථික අතින් සංවර්ධනය ළඟා කරගෙන නොමැත. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙකුගේ මූල්‍ය සාක්ෂරතාවය 30% කට වඩා අඩු යැයි කියවෙති. එසේම දේශපාලනය දෙස බැලීමේදී ද එය ඉහළ අගයක් ගනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි ය. 

යටත් විජිතකරණයෙන් පසු ස්වයං පාලන ක්‍රමයක් අපිට ළැබුන ද සර්වජන ඡන්දය භාවිතා කිරීමට තරම් දේශපාලනිකව මේරූ පුරවැසියන් අපිට නොසිටියේ ය. ශතවර්ෂ කීපයක් තිස්සේ අධිරාජ්‍යවාදීන් විසින් පාගා ගෙන මොට කරන ලද ජාතියක් තමන්ට සුදුසු ආණ්ඩුවක් පත් කර ගැනීමට තරම් දැනුවත්භාවයකින් සිටියා යැයි සිතිය නොහැකි ය. අපේ පුරවැසියන් හට රජයක් පිළිබඳව ඇත්තේ වෙනයම් වූ අදහසකි. අධිරාජ්‍ය සමග සටන් කොට නිදහස දිනා ගැනීමට නොහැකි වූ අප, ස්වයං පාලනයෙන් අනතුරුව ද රාජ්‍යය පිළිබඳව දැරුවේ අධිරාජ්‍ය කෙරෙහි දැක්වූ යටහත් පහත්භාවයම දැයි සිතිය හැකි ය. සිය අනන්‍යතාවය හඳුනාගත්, අභිමානය ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පූර්ණව භුක්ති විඳිය හැකි පුරවැසියන් අපිට නොසිටියේ ය. එහි ප්‍රතිඵලය වූයේ සිය හාම්පුතුන් පාලකයන් බවට පත් කරගෙන ඔවුන් නිර්මාණය කරන ආණ්ඩුවකින් සියල්ල කර දෙනු ඇතැයි සිතන ජනතාවක් බිහි වීමය. 

අධිරාජ්‍යවාදයෙන් බැටකෑ ඔවුන් බටහිරින් නික්ම සෝවියට් රුසියාවේ කොමියුනිස්ට් ක්‍රම දිහා වැඩිපුර විශ්වාස කරන්නෝ බවට පත් වූයේ ය. ශ්‍රී ලාංකිකයෝ ඉන්දියාව දෙසත්, ඉන්දියාව සෝවියට් රුසියාව දෙසත් බැලූහ. එහි ප්‍රතිඵලය වූයේ කොමියුනිස්ට් වාදයේ මුල් ශ්‍රී ලංකාව තුළත් ව්‍යාප්ත වීමය. පසුකාලීනව වාමාංශික දේශපාලන මතවාදය බලසම්පන්න වෙද්දී, රාජ්‍ය පරිපාලනයට රාජ්‍ය මූලික ආර්ථිකයක සංකල්ප ගැඹුරින් අන්තර්ගත කර ගැනීමට සාපේක්ෂව සමාජවාදී දේශපාලන ව්‍යාපාර කටයුතු කළේ ය. යටත් විජිතකරණයෙන් රජය පිළිබඳව ඇති කර ගත් යටහත් පහත් අදහස ද වාමාංශික දේශපාලන මතවාදයෙන් ලැබුණ රාජ්‍ය මූලික ආර්ථිකය ද ශ්‍රී ලාංකීය පුරවැසියා කෙරේ ඇතිකළ බලපෑම සුළුපටු නොවේ. ඔවුහු සියල්ල රාජ්‍ය විසින් කරනු ඇතැයි විශ්වාස කරන්නෝ වූ අතර එම සර්ව බලගතු රජයේ රැකියාවක් කිරීම ජීවිතයේ ලැබිය හැකි ඉහළම ගෞරවයක් සේ සැලකූහ. පුද්ගලික ව්‍යාපාර, වෙළඳපොල, සියල්ල දෙස වාමාංශික ඇසකින් බැලූ ඔවූහු දශක ගණනාවක් ගත වුව ද සිය ආර්ථිකයේ සැකැස්ම වෙනස් කර ගැනීමට කටයුතු නොකළේ ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ, ලෝකය වේගයෙන් වෙනස් වෙමින් ඉදිරියට ගිය ද ශ්රී ලංකාව තවමත් යාවත්කාලීන නොවූ දේශපාලන මතවාදයන්ගේ පැටලු ණු රාජ්‍ය මූලික ආර්ථිකයක් සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වීම ය. 

ශ්‍රී ලංකාවේ නිදහසෙන් පසු බහුතර මහජන මතය විමසා බැලීමේ දී ගම්‍යවන සුවිශේෂි ලක්ෂණය නම්, තවමත් ඔවුන් මේ දේශපාලන මතවාදයෙන් නික්මී නොමැති බවයි. එම දේශපාලන මතය සමග රටකට ඉදිරියට යෑම අපහසු ය. රටේ ආර්ථිකයේ හැඩතල වෙනස් කිරීම අපහසු ය. එනයින්, රට ගොඩ නගන සැලැස්මක මේ මතවාදය වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවය දැඩිව පවතියි. 

 

ජාතික සමගිය 

ශ්‍රී ලංකාව ජාතික සමගිය අතින් සිටින්නේ දුර්වල තැනක ය. බහුතරයක් වූ සිංහලයන් වෙසෙන මේ දිවයිනේ තවත් බොහෝ ජාතීන් වාසය කරති. ඒ ඒ ජාතීන් අදහන ආගම් විවිධ වෙති. කතා කරන භාෂාවන් විවිධ වෙති. එසේම ඒ ඒ ආගමේද ඒ ඒ ජාතියේද කුලයන් අනුව මිනිසුන් බෙදී ගොස් තිබේ. 

යම් අතීත කාරණාවකට සම්බන්ධ සාම්ප්‍රදායික පදනමකින් ගලා එන අනන්‍යතාවයන් බීජ කර ගෙන බෙදී ගිය මිනිසුන් පොදු එක් ජාතියක් ලෙස එක් වීමට මැළිකමක් දක්වති. එක ම භූමියක එකම හුස්ම පොද බෙදා ගත්ත ද එක කෑම වේල බෙදා ගැනීම ප්‍රතික්‍ෂේප කරන සමාජයන් තිබේ. එසේ එක ම ජාතියක් ලෙස එක් වීමට මැළි වූ නිසා ම පසු ගිය දශකය පුරා ජාතිවාදී කෝළාහල තුනක් ඇති වූයේ ය. සිවිල් යුද්ධයක් හට ගත්තේ ය. බෝම්බ පුපුරමින් ත්‍රස්තවාදී ක්‍රියා සිදු වූයේ ය. මේ සියල්ල විසින් අපේ රටේ පුරවැසියන්ගේ මතකයන් තුළ ඇති කරන ලද කැළැල් ප්‍රමාණය ගැඹුරු ය. එවන් අඳුරු මතකයන් අතරින් එකිනෙකා විශ්වාස කරමින් එක ම ජාතියක් ලෙස හදවතින් හැඟීමෙන් එක්සේසත් වීම උගහට ය. අවිශ්වාසය රජ කරවන, සැකය මේරූ, එකිනෙකා තේරුම් නොගත් පුරවැසියන් සිටින රටකට එකාවන්න කටයුතු කිරීම දුෂ්කර ය. මේ බෙදීම ද සැකය ද රටේ ආර්ථිකයට සෘජුවම බලපවත්වයි. විටින් විට ගොඩ නැගෙන ආර්ථිකය යළි යලිත් කඩා බිඳ දමන්නට ඉතිහාසය පුරාවට සිදු වූ වර්ගවාදී ගැටුම් හේතු වූයේ ය. 

එනයින්, අපි රටක් විදියට ගෝලීය සමාජය සමග එක්වීමටත්, අනතුරුව එකිනෙකා ඉවසන සහ ගරු කරන, විවෘත බහු සංස්කෘතික සමාජයක් නිර්මාණය කිරීමටත්, අපි එකිනෙකා සතු ශක්තිය එකට මුහු කොට රට වෙනුවෙන් යොදා ගැනීමටත් මේ දුර්වලතාවය මගහරවාගැනීම අත්‍යාවශ්‍ය ය. ජාතික සමගිය අපේ ආර්ථික සැළැස්මකදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු අංශයක් සේ අප සලකමු. 

 

ඉන්දියාව 

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති සමීප සම්බන්ධය ඉන්දියාවේ සිට බලංගොඩ මානවයාගේ මුතුන්මිත්තන් මෙහි ඇවිද ආ දිනයේ සිට අද දක්වා ම නොනැසී පවතින්නකි. එකිනෙකට සමීපයේ පවතින ගොඩබිම් දෙකක් රාජ්‍යකොට පවතින අසල්වැසියන් වන අප ඉතිහාසය මුළුල්ලේ ම එකිනෙකා සමග අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කළේ ය. විටෙක ආක්‍රමණිකයෙකු ද විටෙක සංක්‍රමණිකයෙකු ද ලෙස මේ භූමියට නෑකම් කියූ ඉන්දියාව මේ වන විට ලෝකයේ ආර්ථික බලවතෙකු ලෙස වේගයෙන් ඉදිරියට එමින් තිබේ. මේ දැවැන්ත රාජ්‍යයට ළඟම නෑයන් වන අප කළාපීය වශයෙන් ඉන්දියාවේ ප්‍රභලත්වය තේරුම් ගත යුතුය. නූතන ලෝකය තුළ යම් වෙළඳපොලක් වේගයෙන් ආර්ථික දියුණුව දක්වා ගමන් කරයි නම්, එම ආර්ථිකය විසින් ආර්ථික අවස්ථා රැසක් ඇති කරනු ලබන්නේ ය. “ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල්” වැනි යැයි කියන්නක් මෙන් යම් ආර්ථික බලවතෙකු වේගවත් සංවර්ධනයක් කරා යයි නම්, ඉන් ගොඩ නැගෙන ආර්ථික අවස්ථා අල්ලා ගැනීමට කුඩා රාජ්‍යයන් හට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවට ලැබී තිබෙන හොඳ ම අවස්ථාව ද මෙයයි. මේ වන විට ලෝකයේ රාජ්‍යයන් රැසක් සංවර්ධනය කරා ගමන් කොට ඇති බැවින්, මෙවන් දැවැන්තයෙකු එසේ කරනු ලබන අවසන් අවස්ථාව මෙය විය හැකිය. එනම්, ඉන්දියාව විසින් අප වෙත හිමිකර දෙනු ලබන මේ අවස්ථාව අප විසින් අල්ලා නොගන්නේ නම්, අපිට එවන් අවස්ථාවක් යළි නොලැබී යෑමේ ඉඩකඩ වැඩිය. එම නිසා ඉන්දියාව සමග අවබෝධයෙන් කටයුතු කිරිම ද ඉන්දීය ආර්ථිකය සමග සමීප සබඳතාවයන් ගොඩ නගා ගැනීම ද අපේ උපක්‍රමය විය යුතු බවට අප අවධාරණය කර සිටින්නෙමු. 

 

ගෝලීයකරණය හා අනාගතය 

තාක්ෂණයේද, සන්නිවේදනයේද, ප්‍රවාහනයේද දියුණුව නිසා වේගයෙන් සිදුවන ගෝලීයකරණය මේ මහපොළොව මත ක්‍රියාත්මක වන යතාර්ථයකි. මීට වසර 5000 කට පෙර සිට රාජ්‍යයන් ලෙස සංවිධානය වූ මානව ශිෂ්ඨාචාරය මේ වන විට එක ම ගෝලීය රාජ්‍යයක් ලෙස යළිත් ප්‍රතිසංවිධානය වීම සිදුවෙමින් පවතින්නේ ය. 

දැනට පවතින එකිනෙකට වෙනස් රාජ්‍යයන් 195 ක් පෘථිවිය මත විවිධ ආර්ථික කළාප ලෙස කළාපීයව සංවිධානය වීම දැනට සිදුව තිබේ. යුරෝපා සංගමය එයට ලොකුම උදාහරණය සපයද්දී ආරාබි ලීගය, අප්‍රිකානු සංගමය ආදිය කරළියට එන කළාපීය සංවිධාන ලෙස හැඳින්විය හැකිය. ආරක්ෂාව මූලික කරගෙන හෝ වෙළඳපොල විශාල කර ගැනීම ඉලක්ක කරගෙන විවිධ ගිවිසුම්වලින් එකිනෙකට බැඳී මෙම සංවිධාන බිහිවීම මේ යුගයේ සුවිශේෂි ලක්ෂණයකි. කළාපීයකරණයෙන් ඔබ්බට ගොස් රාජ්‍යයන් ගෝලීය අභියෝග ජය ගනු වස් එක්ව කටයුතු කිරීම ද දැන් ඇරඹී තිබේ. ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස හා පාරිසරික අර්බුද, ජන සංක්‍රමණය ආදී ගැටලු හුදෙක් ස්වෛරීය රාජ්‍යයන් ලෙස තනිව විසඳා ගැනීම කළ නොහැක්කකි. එනයින් පුළුල් ගෝලීය සම්මුතියන් නිර්මාණය කිරීමත්, ගෝලීයව බලපවත්නා ගැටලු වෙනුවෙන් පොදු ගෝලීය එකඟතාවයන් මත කටයුතු කිරීමත් සිදු වෙයි. මේ සියල්ල දේශපාලනිකව සිදු වූවත්, මේවාට බොහෝ පෙර ගෝලීය ආර්ථිකය ලෝකය වෙලා ගත්තේ ය. එය වෙළඳපොල නිෂ්පාදන විභාජනය වීමෙන් මෙන්ම ප්‍රාග්ධනය ගලා යෑමෙන්ද, භාණ්ඩ සහ සේවා හුවමාරු වීමෙන් ද ඇති වී ඇති සංකීර්ණ ජාලයක් ලෙස හැඳින්විය හැකිය. මෙම ගෝලීය වෙළඳපොල යනු, ලෝකයේ සම්පත් රට රටවල් අතර බෙදා ගන්නා අවකාශයයි. එමගින් ගෝලීයව පිළිගත් පොදු සම්මතයන්, ගිවිසුම් සහ එකඟතාවයන් නිර්මාණය වීම මත පොදු ගෝලීය රීති සහ හර පද්ධතියක් නිර්මාණය වී තිබේ. රාජ්‍යයන් සිය දේශසීමාවට කොටු වෙද්දී, ගෝලීය වෙළඳපොල සමග කටයුතු කිරීමට පුරවැසියන් හට සිදු වෙයි. 

එහි ප්‍රතිඵලය වී ඇත්තේ පුරවැසියන් ද ක්‍රමිකව ගෝලීය චින්තනයකට හුරුවීමත්, රටක සීමාවකට කොටු නොවූ ගෝලීය පුරවැසියන් බවට පත්වීමත් ය. එනම්, තවදුරටත් රටක ආර්ථිකය සැලසුම් කිරීමේ දී දේශීය සීමාවට කොටු වීම ප්‍රායෝගික නොවේ. යම් රටක පුරවැසියන් තවදුරටත් එම රටේ සීමාවට සීමා නොවී පොදුවේ ලෝකය සමග ගනුදෙනු කරන්නන් බවට පත් වෙයි. තාක්ෂණය, සන්නිවේදනය සහ ප්‍රවාහනය විසින් එම පුරවැසියන්ගේ දේශසීමා පුළුල් කර තිබේ. යම් පුරවැසියෙකුට මෙමගින් සිය දේශීයත්වය තනුක වී යෑමක් දැනෙන්නට හැකියාවක් තිබුණත්, සංස්කෘතික වශයෙන් කෙතරම් අභියෝගාත්මක වුණත්, අපට එය මග හැර යා නොහැක. ලෝකයේ ස්වභාවය එයයි. 

ගෝලීයකරණය යනු අපි වැළඳගත යුතු අනාගතයයි. එය මග හැර, ඉන් ඈත් වී දියුණු වන රටක ආර්ථිකය සකස් කළ නොහැකි ය. අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය මේ නූතන ගෝලීය දියුණුව අනුව සකස් විය යුතු එකකි. ලෝකය එක්ක යන, ලෝකයේ එන අලු ත් රටාවන් හඳුනා ගෙන, එයට අනුගත වෙමින් එහි පෙරගමන්කරු වීමට අපි උත්සාහ කළ යුතුය. අපිට ලෝකය ජය ගත හැකි වන්නේ එවිට පමණ ය. 

 

ණය බර සහ බංකොලොත්භාවය 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමග සමාන්තරව එන අනෙක් ප්‍රධාන සංකල්පය නම් රාජ්‍ය ණය ප්‍රමාණය සහ වත්මන් බංකොලොත්භාවය යි. දීර්ඝකාලීනව ගොඩනැගි ඇති ණය මත රඳා පැවතුණ, මූල්‍ය විනය නොරැකි රාජ්‍ය ප්‍රතිපත්තියක අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ රට ගැඹුරු තිරසාර නොවන ණය අර්බුදයක පැටලීම ය. ඒ ණය අර්බුදයේ දිග පළල පිළිබඳව මේ වන විට රටේ විශාල පිරිසකගේ දැනුම පුළුල් වී තිබේ. 

රටේ දැනට පවතින ආදායමෙන් ගෙවා ගැනීමට නොහැකි තරම් ප්‍රමාණයක් ණය ලබා ගෙන රාජ්‍ය වියදම් පියවීමට යෑමෙන් වර්ධනය වී ඇති මේ ණය තොගය, ගෙවා ගෙන යාමට හැකි මට්ටමට පත් කර ගැනීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ කාර්යයක් වන්නේ ය. බංකොලොත්භාවය නිසා ම අවපාතනයකට ගොස් හැකිලීමකට ලක්ව ඇති රටේ ආර්ථිකය තුළින් ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් උපයා යළිත් ණය ගෙවාගෙන යෑමට ඇති හැකියාව වර්ධනය කර ගැනීම ඉක්මනින් කර ගත යුතුව තිබේ. ඒත් සමග ම රටේ තිබෙන ණය ප්‍රමාණය ඉක්මවා යන ආදායමක් ජනිත කිරීමට තරම් ධනය නිර්මාණය වන ආර්ථික ක්‍රමවේදයකට පරිවර්තනය වීමේ අභියෝගය අප හමුවේ තිබේ. 

ආර්ථිකය තුළ ඇති මොඩලය වෙනස් කොට මේ රට තුළින්ම ණය ගෙවාගෙන යෑමට තරම් ධනය රැස් වන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කිරීම අපගේ වගකීම යි. 

 

දුර්වල නීතිය සහ වංචා දූෂණ ඉහළ වීම. 

ආර්ථිකය පණ ගැහෙන ජීවියෙක් නම්, වංචා සහ දූෂණ යනු ඒ ජීවියා තුළ වැඩෙන පිළිකාවක් වැනි ය. පිළිකාවක් එක වරක් වැළඳුණ විට එය සුව කිරීම අපහසු ය. බොහෝ විට රෝගියා මිය යන තෙක් ම පිළිකාව වැඩී විශාල වෙයි. ශරීරයේ සෑම තැනකටම එය පැතිරෙයි. රටකට හෝ ආයතනයකට වංචාව හා දූෂණය බෝ වූ විට ද කටයුතු සිදු වන්නේ එසේම ය. එය පැතිරෙයි, ශරීරය රෝගාතුර වී මිය යන තුරු ම පැතිරෙයි, විශාල වෙයි. ශ්‍රී ලංකාවේ වංචා දූෂණ ප්‍රමාණයත් එම පිළිකාව සේ ම මේ රටේ රාජ්‍ය සේවයේ, දේශපාලනයේ මෙන් ම පුරවැසි ජන ජීවිතයේ ද අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් තිබේ. 

අපි ලෝකය අතින් ද වංචා දූෂණ අතින් ඉහළ අගයක් ගන්නා දූෂිත රාජ්‍යයකි. මේ තත්ත්වය කළමනාකරණය කරගැනීම ගැන අපි පුළුල්ව කතා කළ යුතු අතර, ආර්ථික උපක්‍රම තෝරා ගැනීමේ දී එම තත්ත්වය සැලකිල්ලට ගෙන, වංචා දූෂණ සිදු නොවීමට වගවීමෙන් බැඳීමට අපට සිදුවනු ඇත. 

 

අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය 

රටක් කාර්යක්‍ෂමව පාලනය කිරීමට නම් ඒ රජය සතුව හොඳ ආයතන ව්‍යුහයක් තිබිය යුතුය. ඒ ආයතන වල උනන්දුවෙන් රැකියාව කරන දක්ෂ සුදුසු සේවක මණ්ඩලයක් සිටිය යුතුය. ඒ නිලධාරීන් හා සේවකයන් රටේ බිහිවන හොඳම මානව සම්පතෙන් තෝරාගත් සුදුස්සන් විය යුතුය. 

අප රටේ ගැටලු ව නම් රාජ්‍ය පරිපාලනය ඉතා දුර්වල තත්ත්වයක පැවතීම ය. එය එක පැත්තකින් යාවත්කාලීන නොවූ පැරණි සිද්ධාන්තවලට අනුව ක්‍රියාත්මක වන්නෙකි. අනෙක් පැත්තෙන් නූතන තාක්ෂණය සහ ශිල්පක්‍රම අවමව භාවිතා කරන්නකි. මෙවන් දුර්වල රාජ්‍ය පරිපාලන ක්‍රමයක් තියා ගෙන රටක් සාර්ථකව පාලනය කිරීම උගහට ය. රජයක් විසින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කරවීමට තිබෙන්නේ දුර්වල යාන්ත්‍රණයක් නම්, එය මගින් ආර්ථිකයට අවශ්ය ශක්තිය නොලැබේ. ඒ නිසාම මේ රටේ ව්‍යාපාර හා කර්මාන්ත කිරීමට අපහසු රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධ වී තිබේ. Ease of Doing Business එකට අනුව අපි සිටින්නේ 100 ආසන්නයේ ය. එය අන්තර්ජාතික සම්මතයන්ට අනුකූලව පහත් අගයක් වන අතර ඉන් මේ රටතුළ ව්‍යාපාර හා කර්මාන්ත කිරීමට ඇති අපහසුවත්, ආයෝජන ගෙන්වා ගැනීමට ඇති බාධාවත් පෙන්නුම් කරයි. එනයින් රටේ ඕනෑම ප්‍රගතියක් අත්කර ගැනීමට නම්, අපගේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය යාවත්කාලීන කොට සම්පුර්ණ වෙනස් කළ යුතු යැයි අප විශ්වාස කරන්නෙමු. 

 

අපි ආර්ථිකය ගොඩ නගන බිම් පදනම 

රටේ ආර්ථිකය නම් යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වීමට නම්, රට තුළ ශක්තිමත් අඩිතාලම් තුනක් සකස් කර ගත යුතුය. ඒවා රටේ ආර්ථිකය ගොඩනැගෙන පාදම් වෙයි. එම මුලික අඩිතාලම් ශක්තිමත් නොවී සංවර්ධිත රාජ්‍යයක් කරා යෑමට දැවැන්ත ආර්ථිකයක් සඳහා වූ මග විවර කර ගත නොහැකිය. මක්නිසාද යත්, මේ මූලික පදනම් තුන මත ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සෘජුවම රඳා පවතින බැවිනි. එම මූලික පදනම් තුන මෙසේ ය. 

  1. යහපත් දේශපාලනය 
  2. කාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය 
  3. නීතියේ පරමාධිපත්‍යය 

 

යහපත් දේශපාලනය 

රටක ආර්ථිකය පැන නගින්නේ දේශපාලනයෙන් බැව් අප ඔබට පැහැදිළි කළෙමු. දේශපාලනය යනු වත්මන් පාලන තන්ත්‍රයට අනුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයයි. එය මානව නිදහස හා සමානාත්මතාවය පිරි, මූලික මිනිස් අයිතිවාසිකම් රැකි, බහුතර කැමැත්ත මත රටේ පරිපාලනයට සම්බන්ධ තීන්දු තීරණ ගන්නා ක්‍රමයකි. ජනතාවට සිය නියෝජිතයන් මගින් දේශපාලන තීන්දු තීරණවලට සහභාහී විය හැකි අතර, එම නියෝජිතයන් ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටී. 

මේ දේශපාලන මොඩලය ලොව පිළිගත් බහුතර රටවල් රැසක ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන මොඩලයයි. මේ නියෝජිතයන් යහපත් දේශපාලනයක් සිදු කරයි නම් ඔවුන් යහපත් සාධාරණ තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට දායක වෙති. එහෙත්, එම නියෝජිතයන් ඔවුන් උසුලන දේශපාලන බලය අවභාවිතා කොට, නිදහස් වෙළඳපොල තරගයට බාධා කරයි නම්, දේශපාලන හා ආර්ථික වාසි ලබයි නම් එවන් අවස්ථාවකදී ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක නොවේ. දේශපාලන බලය ඇත්තෝ ආර්ථික වාසි සූරා ගනිමින් ජනතාවගෙන් ඈත් කරයි නම් අපි බලාපොරොත්තු වන යහපත් ආර්ථිකයක් නිර්මාණය නොවේ. 

දේශපාලනය අධිකාරිය යහපත් වූ කළ එය විසින් රටේ ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කරති. වංචා දූෂණ සීමා කරති, වෙළඳපොල නිදහස ඇති කොට, අවශ්‍ය අවම නියාමනය ලබා දෙති. රාජ්‍ය සාර්ව ආර්ථිකය ස්ථාවරව තබා ගනිමින්, වෙළඳපොලට දියුණු වීමට අවකාශ සලසා දෙති. එමගින් ධනය ගොඩනැගීමට අවස්ථා නිර්මාණය කරති. ඒවා සාධාරණව බෙදී යන යාන්ත්‍රණ නිර්මාණය කරති. එසේ කළ හැක්කේ දේශපාලකයා වගවීමෙන් බැඳුණු කලක දී පමණකි. ඒ අනුව යහපත් දේශපාලනයක් නිර්මාණය කරගත හැකි අතර, එමගින් සාර්ථක ආර්ථිකයක් නිර්මාණය කිරීමට පදනම දමයි. 

 

කාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය 

යහපත් දේශපාලනය මගින් සපයනු ලබන අවම නියාමනයන් සහ සේවා කාර්යක්‍ෂම ආර්ථිකය තුළට රැගෙන ඒම රාජ්‍ය පරිපාලනයේ කාර්යභාරයයි. වෙළඳපොලට අවශ්‍ය වන පරිපාලනය පහසුකම්, ලියාපදිංචි කිරීම්, යටිතල පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ආදිය සැපයීමත්, ගුණාත්මක ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමත් රාජ්‍ය සේවා මගින් සැපයිය යුතුය. රාජ්‍ය සේවාවන් යාවත්කාලීන හා කාර්යක්‍ෂම නොවන විටෙක ඇති වන ප්‍රමාදවීම් සහ අක්‍රමිකතා මෙන්ම විවිධ පරිපාලන ස්ථරවල ඇතිවන වංචා දූෂණ ආදිය නිසා එවන් රටවල ව්‍යාපාර කිරීමට අපහසු තත්ත්වයන් පැන නගී. එවන් රටවල ආර්ථිකය දියුණු කිරීම අපහසු ය. එනයින් කාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනයක් නොමැති රටක ආර්ථිකයක් සාර්ථක නොවේ. ඒ අනුව අපගේ රාජ්‍ය පරිපාලන ප්‍රතිපත්තිය මත ආර්ථිකයට හිතකර කාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනයක් ඇති කෙරේ. 

 

නීතියේ පරමාධිපත්‍යය 

රටක නීතිය එහි ආර්ථිකය හා සෘජුව ම බැඳී පවතී. ආර්ථිකයක් තුළ නිරන්තරයෙන් ඇති වන වෙළෙඳපොළ අවබෝධතාවයන් සහ ගිවිසුම් විවිධ කරුණු නිසා උල්ලංඝනය වීම් නිරන්තරයෙන් ස්වාභාවිකව සිදු වේ. එවිට ඇතිවන වෙළඳපොල ගැටුම් නිරාකරණය කර ගැනීමත්, එම ගිවිසුම් නීත්‍යානුකූලව ක්‍රියාවේ නැංවීමත් විශ්වාසයෙන් යුතුව කර ගැනීමට හැකියාව වෙළඳපොලක් තුළ තිබිය යුතුය. එසේ ම මහජන විනය පවත්වා ගෙන යෑමත්, ඒ සමාජයේ සාමය පවත්වා ගෙන යෑමත් ආර්ථිකයකට සෘජුවම බලපානු ලබයි. රටක සමාජය මෙන් ම ශ්‍රම බලකාය නීතිගරුක පුද්ගලයන්ගෙන් සමන්විත වීමත්, ස්වයං විනයක් පවත්වා ගැනීමත් ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට සෘජුව ම සම්බන්ධ ය. නීතියේ පරමාධිපත්‍ය ඇතිකිරීම මත පුරවැසියන් වඩාත් නීතිගරුක පුරවැසියන් බවට පත් වන අතර, එම ශක්තිමත් නීති පද්ධතිය මගින් ඇති කරනු ලබන සමාජ ස්ථාවරත්වය හා විශ්වාසය ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට සෘජුව ම සම්බන්ධ ය. එනයින් රටේ සමස්ත ආර්ථිකයේ වේගවත් දියුණුවට රටේ නීතියේ පරමාධිපත්‍යය පිහිටුවීම අත්‍යාවශ්‍ය ය. 

 

 

රටට ගැළපෙන ආර්ථික මොඩලය 

 

විවෘත ආර්ථිකය 

ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන ආර්ථික මොඩලය විවෘත ආර්ථිකය බව අප විශ්වාස කරන්නෙමු. ලෝකයේ කුඩා ජනගහනයක් වෙසෙන පුංචි රාජ්‍යයක් ලෙස අප රටට ලෝක වෙළඳපොල සමග තරඟකර ධනය උත්පාදනය කර ගැනීමට නම්, වෙළඳපොල බාධා සියල්ල ඉවත් කළ, අන්තර්ජාතිකය සමග ඉතා පහසුවෙන් ගනුදෙනු කළ හැකි, සන්නිවේදනයෙන්, තාක්ෂණයෙන් හා ප්‍රවාහනයෙන් බැඳුණ, භාණ්ඩ හා ප්‍රාග්ධනය අවම පිරිවැයක් යටතේ ගලා යා හැකි රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුය. 

 

1978 දී සාපේක්ෂව වැසුණු ආර්ථිකයක සිට විවෘත වෙළඳපොලට පිවිසිය ද එම තත්ත්වයට ගැළපෙන්නට දේශීය ආර්ථිකය සහ සීමා වෙනස් කර ගෙන නොමැත. එනයින් සාපේක්ෂව විවෘත තත්ත්වයක් ඇති වුව ද තවමත් සමස්ත ආර්ථිකය තුළ ඇත්තේ වෙළඳපොල බාධා වලින් අනූන, රාජ්‍ය අධිනියාමනයකට ලක් වූ දේශීය වෙළඳපොලක් මෙන්ම අන්තර්ජාතිකයට බියෙන් සකස් කරගත් යාවත්කාලීන නොවූ ආරකක්‍ෂණවාදී ආර්ථික ක්‍රමවේදයකි. රටතුළ බැසගත් වාමාංශික ව්‍යාපාර සහ ජාතිකවාදී දේශපාලන මතවාදයන් මුල් කරගත් දේශපාලන පක්ෂ බලයට පත් වීමත්, ඔවුන් විසින් පෙර පැවති ක්‍රමය දිගට ම පවත්වා ගෙන යෑමත්, ලෝකය සමග ඉදිරියට යෑමට තරම් දේශපාලන දැක්මක් සහිත නව අදහස් දේශපාලනය තුළට නොපැමිධෑමත්, යුද්ධය හා ත්‍රස්තවාදය නිසා ආර්ථිකයට ලැබුණ අවධානය අඩු වීමත් නිසා මේ ක්‍රමික පරිවර්තනය රටතුළ සිදු වූයේ නොමැත. එහි ප්‍රතිඵලය නම්, ආර්ථිකයට නියමිත පදනමක් නොමැතිව ලෝක වෙළඳපොල තුළ අතරමං වීමය. 

 

එමනිසා අප අරගෙන එන පළමු වෙනස නම් මේ විවෘත ආර්ථිකය සංකල්පය යාවත්කාලීන කර, එයට ගැළපෙන අයුරින් දේශීය වෙළඳපොල ද රාජ්‍ය පරිපාලනය ද ජනතාව දැනුවත් කර ඔවුන්ගේ මතවාදය ද වෙනස් කර නිවැරදි පදනමක් දැමීම ය. වෙළඳපොලට ඇති බාධා ඉවත් කොට, අන්තර්ජාතිකයට බිය නැති, ලෝකය සමග පහසුවෙන් ගනුදෙනු කළ හැකි, පුළුල් හා විවෘත වෙළඳපොල ක්‍රමයක් ඇති කිරීම ය. 

 

එවිට අප මෙන් ම අනෙකුත් කුඩා රාජ්‍යයන් සිදුකළා මෙන් ම, ලෝකය සමග තරඟ කොට, ලෝක වෙළඳපොලෙන් කොටසක් උරුම කර ගැනීමට අපට ඉඩ විවර වේ. 

 

නිදහස් වෙළඳපොල 

වෙළඳපොලක් ක්‍රියාත්මකවන සාර්ථක ම ක්‍රමය නම් නිදහස් වෙළඳපොල බව දැන් ලෝකය ඉගෙන ගෙන තිබේ. සාපේක්ෂව වැසුණු ආර්ථික ක්‍රම, ආරක්ෂණවාදී ආර්ථික, සමාජවාදී ආර්ථික ක්‍රම ක්‍රියාත්මක කළ රාජ්‍යයන් බොහෝමයක් ඒවායින් මිදී නිදහස් වෙළෙඳපොළ තෝරාගෙන ඇති අතර, අතළොස්සක් හැරුණු කොට එසේ වෙනස් වූ රාජ්‍යයන් සියල්ලක්ම පාහේ ඉන් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තිබේ. එනම්, රටක් ආර්ථික අතින් සංවර්ධනය කරා ගෙනයෑමට නම්, ලෝකයේ අත්හදා බලා සාර්ථක වූ එකම ක්‍රමය ලෙස නිදහස් වෙළඳපොල ආර්ථිකය අවිවාදයෙන් පිළිගෙන තිබේ. එනයින් අප ද තෝරා ගත යුත්තේ නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. 

එම නිදහස් වෙළඳපොල ක්‍රමයක් තුළ ගොඩනැගෙන ප්‍රතිලාභ දිනා ගැනීමට පුරවැසියන් තුළ ඇති වන කැමැත්ත හා තරඟය උත්තේජනය කොට සමාජයක් නව නිර්මාණ කිරීමටත්, ඒවා නිෂ්පාදනය කොට වෙළඳපොලට ගෙන ඒමත්, එමගින් සමාජයට අභිවෘද්ධිය ඇති වීමත් මෙය සිදුවන සරළ ක්‍රියාවලියයි. එමගින් පුරවැසියාට වෙළඳපොල තුළින් ප්‍රතිලාභ දිනා ගැනීමට බාහිර බලපෑමෙන් තොර නිදහසක් තිබිය යුතු ය. පැරණි ලෝකයේ ආරක්ෂණවාදී ආර්ථිකයන්හි රාජ්‍ය මැදිහත්වීම අධික වූ අතර, රාජ්‍ය සෘජුව ම වෙළඳපොල නියාමනය කිරීම කළේ ය. එසේ කරනුයේ විවිධ ලයිසන් ක්‍රම සහ පර්මිට් ක්‍රම ආධාරයෙනි. ඒ හරහා තවත් රාජ්‍ය සේවා නියාමනයක් ද ඒ ඔස්සේ වංචා දූෂණවලට තවත් එක අවස්ථාවක් ද නිර්මාණය කරයි. රටේ ආර්ථිකය තුළ සිදුවන සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නියාමනය කිරීමට කිසිදු රජයක් සර්ව බලධාරි නොවන බැවින්, එම මැදිහත්වීම තුළ අක්‍රමිකතා රාශියක් හට ගෙන එහි බලපෑම මත වෙළඳපොල අධෛර්යමත් වීමත්, අකාර්යක්ෂම වීමත් සිදුවේ. එවන් ආර්ථිකයක පුරවැසියාට ප්‍රතිලාභ ප්‍රමාණවත්ව නොලැබෙන බැවින් නව නිර්මාණ කිරීමටත්, අලු ත් ව්‍යාපාර කිරීමටත් ඇති උනන්දුව බොහෝ අඩුය. එවන් ආර්ථිකයක් සාමාන්‍යයෙන් දියුණු නොවෙයි. එනිසා මේ ආර්ථික යන්ත්‍රය පණ ගැන්වීමට නම්, වෙළඳපොලට සහභාහී වීමට පුරවැසියන් හට ඇති අවස්ථාව පහසු විය යුතු අතර, බාධා අවම විය යුතුය. එම නිදහස් වෙළඳපොල තුළ සම්පත් බෙදී යෑම සාධාරණ විය යුතු අතර, කිසිවෙකු මග නොහැර යන ක්‍රමවේදයන් සකස් කර ගත යුතුය. එහි වගකිම පාලකයා සතුවන අතර එයට අදාළ අවශ්‍ය නියාමනයක් සකස් කිරීමට අප කටයුතු කරන්නෙමු. 

 

එමෙන්ම නිදහස් වෙළඳපොලක් ස්වයං පාලනයට ලක් වූවත්, පූර්ණ නිදහස් වෙළඳපොලක් තුළ එම ස්වයං නියාමනය දුර්වල වී සමාජ සාධාරණත්වය නොලැබී යන මට්ටමට පත් විය හැකිය. ඒ නිසා ම ලෝකයේ කිසිදු රටක පූර්ණ නිදහස් වෙළඳපොලක් ක්‍රියාත්මක නොවේ. වෙළඳපොල අසාර්ථක වන තැන් හඳුනා ගෙන එවාට පිළියම් යෙදීමත්, අසාර්ථක නොවීමට අවශ්‍ය අවම නියාමනය ලබා දීමත් රජයෙන් බලාපොරොත්තුවන පරිපාලන වගකීමයි. ඒ සඳහා ආයතන සකස් කිරීමත්, අණපනත් නිර්මාණය කිරීමත් අපගේ වගකීමයි. එසේම රාජ්‍ය කුඩා වූවත් එය වෙළඳපොලට වඩා ප්‍රභල වීමත් මෙවන් ක්‍රමයක අවශ්‍යතාවයකි. වෙළඳපොල තුළ කිසිඳු ආකාරයකින් රජයේ රාජ්‍ය බලයෙන් ඔබ්බට ඉක්මවා යන වෙළඳපොල බලයක් ගොඩ නගා ගැනීමට අවස්ථාවක් නොවිය යුතුය. එනයින්, නිදහස් වෙළඳපොලක් ඇති කිරීමටත්, ඒ සඳහා අවම නියාමන යාන්ත්‍රණයක් ඇති කිරීමටත්, කුඩා නමුත් ප්‍රභල රජයක් නිර්මාණය කිරීමටත් අප කටයුතු කරන්නෙමු. 

 

 

නුතන අර්බුදය සහ එතෙර වීම

IMF වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම 

ජාතික හරිත පෙරමුණ ලෙස අප ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය පිළිබඳව දිගින් දිගටම විසඳුම් ඉදිරිපත් කර ඇත්තෙමු. ගෙවුම් ශේෂ අර්බුදයකින් මතුව රටේ ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට යොමු කළ පාලනයට එරෙහිව අරගලය තුළ අප සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කළෙමු. එහි දී අප විසින් යෝජනා කළ විසඳුම් තුළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනකට පිවිසිය යුතු බව අප පැහැදිළිව කියා සිටියෙමු. 

එනයින් වත්මන් රජය විසින් එකඟ වී ඇති ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට අපද එකඟ වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් අදාළ වැඩසටහන ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන්නෙමු. ඒත් සමගම මීළඟට පැවරෙන වගකීම නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. විදේශීය ණය පමණක් නොව දේශීය ණය පවා ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් මතුවන බව ද අප නිරන්තරයෙන් ප්‍රකාශ කළෙමු. එම නිසා නුදුරේ ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවිය හැක. 

එසේම, IMF වැඩසටහනෙන් පසු ඇති කරගත් එකඟතා මත, බලශක්තිය වෙනුවෙන් වියදම ආවරණය වන මිල ක්‍රමයකට යෑම අත්‍යාවශ්‍ය වේ. 

වත්මන් බදු ප්‍රතිපත්තිය සහ අනාගත ජාතික බදු ප්‍රතිපත්තිය වත්මන් බදු ප්‍රතිපත්තිය හුදෙක් අර්බුදයෙන් එතෙර වීම සඳහා ප්‍රයෝජනයට ගෙන ඇති තාවකාලිකව ප්‍රතිපත්තියක් පමණක්ය යන්න අපගේ කියැවීමයි. එම බදු ප්‍රතිපත්තිය රටේ දිගුකාලීන ජාතික බදු ප්‍රතිපත්තිය ලෙස සැලකිය නොහැකි ය. එහෙත් අර්බුදයෙන් එතෙර වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවය මත මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බව අප විශ්වාස කරන්නෙමු.

අර්බුදයෙන් එතෙර වීම පිණිස අප සැමවිසින් තනි තනිව හා රටක් ලෙස සාමූහිකව කළ යුතු කැපකිරීම් රාශියක් තිබේ. එනයින්, අධික බදු බර ඉවසා සිටීමට සිදුවීම මෙවන් අර්බුදයක් හමුවේ පුරවැසියන් ලෙස අපට මුහුණ දෙන්නට සිදු වන අනිවාර්යය අභියෝගයකි. ලෝකයේ මෙවන් අර්බුදවලින් එතෙර වූ අනෙක් රටවල පුරවැසියන් විසින් ද එසේ කර තිබේ.

එහෙත් පසු කාලීනව ජාතික බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට අප කටයුතු කරන්නෙමු. එහෙත්, එම බදු ප්‍රතිපත්තිය හා එහි ප්‍රමිතීන් මේ රට හදන හරි පාර 181 අවස්ථාවේ නිර්ණය කිරීම විද්‍යාත්මක නොවේ. එයට හේතුව රටේ ආර්ථිකයේ මේ මොහොතේ පවතින අවිනිශ්චිත හා අස්ථාවර ස්වභාවයයි. 

අප තේරුම් ගත යුතු සත්‍යය නම් බදු යනු රජයේ ආදායමෙන් 90% කට එහා ගොඩ නගන ප්‍රධාන අදායමයි. රටක රජයක් පවත්වා ගැනීමට එම රටේ දළ දේශීය නිශ්පාදනයෙන් 15% ක් පමණවත් බදු ලෙස එකතු විය යුතු බව පිළිගැනේ. එහෙත් එම අගය අර්බුදය තුළ දී 8% කට ආසන්න වී තිබූ බව අප දනී. වත්මන් බදු ප්‍රතිපත්තිය මගින් එම අගය 12% දක්වා වැඩි කර ගැනීමට කටයුතු කළ ද නුදුරු අනාගතයේදී ම අපට බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණ තුළින් දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් බදු ලෙස එකතු වන ක්‍රමයකට යා යුතු වෙයි. එම නව ප්‍රතිපත්ති තුළ බදු එකතු කරන පරාසය පුළුල් කිරීම අනිවාර්යය වෙයි. ඒ සඳහා අප පහත විසඳුම් යෝජනා කරන්නෙමු. 

 

  • e-Governance ක්‍රමවේදය හැකි පමණ ඉක්මනින් රාජ්‍ය පරිපාලනය තුළට එක් කොට, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කරවීම. 
  • පුද්ගල සහ සමාගම් එම ඩිජිටල් ක්‍රමවේදයන් තුළ පහසුවෙන් හඳුනාගත හැකි ක්‍රමයකට ගෙන ඒම. 
  • ආදායම් බදු දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම සහ වත්මන් අක්‍රමිකතා ඉවත් කොට එහි විනිවිදභාවය හා වගවීම සනාථ කිරීම. 
  • එමගින් බදු වංචා සහ අතපසු වීම් අවමකොට බදු ගෙවීම් පැහැර හැරීමට ඇති අවස්ථා අවම කිරීම. 
  • බදු ගෙවීම් පැහැර හැරිම් සඳහා වෙන ම විමර්ශන ඒකකයක් පිහිටුවීම සහ ඒ වෙනුවෙන් දඩ ක්‍රමයක් ඇති කිරීම. 
  • දේශීය වාණිජ බැංකු ජාල ගතකොට පුරවැසියන්ගේ සහ ආයතනවල ආදායම් හා මූල්‍ය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළහැකි ජාලගත ක්‍රමවේදයක් සකස් කිරීම. එමගින් මූල්‍ය කටයුතු පිළිබඳව, ආදායම් ඉපැයීම් පිළිබඳව විශ්ලේෂණය කිරීම. 
  • පරිභෝජනය මත පදනම් වූ බදු ක්‍රමයක් වෙනුවට ආදායම් මත පදනම් වූ නව බදු ප්‍රතිපත්තියකට පිවිසීම හා ක්‍රමිකව වක්‍ර බදු අඩු කොට සෘජු බදු ක්‍රමයකට මාරු වීම. 
  • රට තුළ ව්‍යපාර හා කර්මාන්ත ඇති කිරීම, හා ක්‍රමිකව ආර්ථික සංවර්ධනයට යොමුකිරීම මගින් බදු එකතු කරන පාදම ඉහළ නංවා ගැනීම. 
  • අන්තර්ජාතිකව තරඟකාරී බදු ප්‍රතිපත්තියක්, නිදහස් වෙළඳ කළාප සඳහා මෙන්ම නව ආයෝජන සඳහා ක්‍රියාත්මක කිරීම. 
  • අනවශ්‍ය බදු සහන නොදී සිටීම සහ බදු ප්‍රතිපත්තිය මත සෘජු නියාමනයක් සිදු කිරීම. 

 

මෙම ක්‍රමවේදයන් මගින් බදු එකතු කිරීම, බදු ආදායම ඉහළ නංවා ගැනීම හා එහි කාර්යක්ෂමතාවය ඉහළ නංවාගැනීමට කටයුතු කෙරේ. එම ජාතික ප්‍රතිපත්තිය නම්‍යශීලී ප්‍රතිපත්තියක් වන අතර රජයේ මූල්‍ය ක්‍රියාකාරීත්වය මත කරගෙන යන්නක් බැවින් ද, මහ බැංකුව ස්වාධීන කිරීමෙන් අනතුරුව මුදල් අච්චු ගසමින් අය වැය පරතරයන් පියවා ගැනීමට සීමා පැනවෙන බැවින් ද, අනාගත රජයකට ණය ලබා ගැනීමේ සීමා පැනවෙන බැවින්ද බදු යනු රජය සම්පූර්ණයෙන් රැඳී සිටින ආදායම වනු ඇත. අර්බුදයෙන් එතෙර වන තුරු එම බදු ප්‍රතිපත්තිය දීර්ඝකාලීන සහ ස්ථාවර බවට පත්කිරීම අපහසු වන අතර, අර්බුදයෙන් මිදුණු වහා ම, ස්ථාවර සහ දීර්ඝකාලීන ජාතික බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. එය අප ගොඩනගන දේශයේ දළ දේශීය නිශ්පාදනයෙන් 15% ක අගයකට ගෙනයාම අපගේ ඉලක්කයයි.