නිවාස, ඉඩම්, කෘෂිකර්මය සහ වනාන්තර
මේ තව වසර 30 කින් අප දකින රටේ මුල් සැලැස්මයි.
රටේ ඉඩම් ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමට විශේෂයෙන් බලාත්මක කරන ලද ආයතනයක් ඇති කල යුතුය. එම ආයතනය රටේ ජනාධිපතිවරයා හෝ ප්‍රධාන විධායකය විසින් සෘජුවම අධීක්ෂණය කල හැකි , ඔහුගේ හෝ ඇයගේ සෘජු පරිපාලනය යටතේ තිබිය යුතුය. එම ආයතනයට භූමිය පිළිබඳව විශේෂඥ දැනුම සහිත නිලධාරි මඩුල්ලක් පත් කරගත යුතුය.
රටේ සමස්ථ භූමි ප්‍රමාණය වන වර්ග කිලෝමීටර් 65610 ක පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කිරීම මූලික අඩිතාලමයි. ලෝකයේ තිබෙන නූතන තාක්ෂණය , දැනුම මෙන්ම වීශේෂඥයන් යොදවා මෙය සිදුකල යුතුය. මේ සඳහා ලොකු කාලයක්, මුදලක් වැය වන බව නොඅනුමානය. ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට අප නොපසුබට විය යුතුය.
අප රට තුල වර්තමාන ජන ඝණත්වය වර්ග කීලෝමීටර එකකට මිනිස්සු 320 කි. මෙය ලෝකයේ ජන ඝණත්වය අතින් ඉහළ අගයක් ගන්නා බැවින් , අපගේ මුළු ජනගහනය ද එහි අනාගත වර්ධනයද ප්‍රක්ෂේපණය කර බැලීමේදී අප සතු සීමිතම සාධකය නම් වර්ධනය වන ජනගහනයට සාපේක්ෂව ඉඩම් බව ඔබට පෙනී යනු ඇත. එබැවින් මේ රට තුල අප මූලිකවම කළමනාකරණය කර ගත යුතු සම්පත භූමියයි, අවකාශය යි. එබැවින් එය අපේ කර මත තිබිය යුතු ජාතික වැඩපිළිවෙළක් විය යුතුය. අප සැළසුම් කරන , අපගේ දැක්ම අනුව රටට ගැලපෙනු ඇතැයි සිතිය හැකි ආර්ථික ක්‍රමවේදය අනුව ඊට අනුරූපි වන ලෙස රටේ ඉඩම් ප්‍රතිපත්තිය සකස් විය යුතුය. එය රටේ විධායකය විසින් සෘජුවම මෙම ආයතන හරහා සිදු කල යුතුය.
රටේ ඉඩම් පහත ලෙස බෙදා වර්ග කර ගන්නා ලෙස මා යෝජනා කරමි.
- වෙළෙඳ නගර හා කර්මාන්ත කලාප
- ජනාවාස ප්‍රදේශ
- කෘෂිකාර්මික භූමි
- වනාන්තර සහ ස්වභාවික භූමි
- වෙළෙඳ නගර සහ කාර්මික කලාප හෙවත් Business and Industrial lands.
රටේ ප්‍රධාන නගර වල අප දකින ආර්ථිකයට ගැලපෙන නගර වඩා දියුණු කාර්මික නගර බවට පත් කිරීමට මුල සිටම සැලසුම් සකස් කල යුතුය. එම කාර්මික නගර අවට කාර්මික නිශ්පාදන කෙරෙන කාර්මික කලාප සකස් කල යුතුය. මෙම කාර්මික නගර හා කලාප ගුවන් තොටුපොළ , වරාය හා මහාමාර්ග ජාලා වලින් සම්බන්ධ , රටේ දියුණු කල හැකි ඉඩ සහිත සම්පත් සහිත ස්ථාන විය යුතුය. මා ඔබට යෝජනා කරන ප්‍රධාන කාර්මික නගර නම් කොළඹ , හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය යි. මේවාට අමතරව උප ප්‍රධාන ලෙස යාපනය ද මෙයට ඇතුලත් කර ගත යුතුය. මේ නගර වල දැනටමත් වරාය හා ගුවන් පහසුකම් සැකසී තිබෙන අතර කොළඹ හැරුණු කොට අනෙක් නගර වල අවශ්‍ය තරම් වෙන වැඩකට භාවිතා කල නොහැකි මුඩු ඉඩම් රාශියක් පවතී. මේ නගර යා කරමින් හොඳින් නිමැවුණු අධිවේගී මාර්ග ජාලයක් සැලසුම් කල යුතුය. මෙම නගර අරමුණු කරගෙන ඒවාට අවශ්‍ය බලශක්තිය, සන්නිවේදනය හා ජලය සැපයීමට යටි තල පහසුකම් සැලසුම් කල යුතුය. මේ සියල්ල සැලසුම් කර සිතියම් ගත කර පොදු Blueprint එකක් නිර්මාණය කල යුතුය.
- ජනාවාස ප්‍රදේශ හෙවත් Residential Areas
රටේ වර්තමාන ජනාවාස නගර මූලික කරගෙන් නිර්මාණය වී ඇති අතර ඒවා පාරවල් දෙපසට පොර කමින් සාන්ද්‍රණය වී ඇති අයුරක් පෙනෙන්නට තියෙයි. පරම්පරාවෙන් ආ ඉඩම් ඊළඟ පරම්පරාවට කැඩි කැඩී ගොස් බොහෝ පවුල් වලට සිය මීළඟ පරම්පරාවට නිවසක් සාදා ගැනීමට ලබා දීමට තරම් ඉඩක් සතුව නැත. ඒ නව පරම්පරාවන් ඉඩම් මිළදී ගත යුතුය. එහෙත් එතරම් ඉඩම් අප සතුව තිබේ ද? අද අපි මෙය ඔහේ වීමට ඉඩ ඇරියත් තව අවුරුදු 20 කින් 30 කින් එන ගැටලුවට අප විසඳුම් සොයන්නේ කෙසේ ද? එබැවින් අප අවකාශය ජය ගත යුතුව ඇත. ඔව් අප අහස ජය ගත යුතුව ඇත.
මා ඔබට යෝජනා කර සිටින වග නම් අප අලුතින්ම ජනාවාස ප්‍රදේශ අප ඉහතින් සැලසුම් කල Blueprint එකට ඇතුලත් කරන ලෙසය. භූමිය සීමා සහිත බැවින් අපි හැමෝම ඉඩම් වල ගෙවල් හදා පදිංචි වූවොතින් අප සතු අවකාශය ඉක්මනින් පිරී යනු ඇත. තව අවුරුදු 20-30 කින් අප හිර වීම වළක්වා ලීමට නම් මෙම ජනාවාස සැළසුම් කිරීම මෙන්ම නිර්මාණය කිරීම ද රජයේ පූර්ණ මැදිහත්වීම දරමින් අනාගත අවශ්‍යතා සපිරෙන අයුරින් නිම විය යුතුය. අප තට්ටු ගෙවල් නිවාස සංකීර්ණ වලින් යුතු කුඩා ගම්මාන මොඩලයේ සියළු පහසුකම් වලින් යුතු කලාප නිර්මාණය කල යුතුය. ඒවා නිපදවීමට රජයේ ආයතනයක් පිහිටුවා රජයේ වියදමින් නිමවා වසර 30 කින් පමණ ගෙවීමේ පදනම මත අලුතින් පවුල් වන රැකියා හිමි ශ්‍රි ලාංකිකයන් හට ලබා දිය යුතුය. සිය ජීවිත කාලයම මහන්සි වී කෑලි කෑලි හදා ගන්න ගෙවල් වල ජීවිතයම ගෙවා දමන අපේ මිනිස්සු හොඳ වාසස්ථාන වෙත යොමු කිරීමට හැකි මූල්‍ය ක්‍රම වේදයක් අප නිර්මාණය කර ගත යුතුය. මෙය එතරම් අපහසු නැත. අවශ්‍ය වන්නේ නිසි කළමනාකරණය හා මග පෙන්වීම පමණ ය.
එම ජනාවාස ප්‍රදේශ වලම, පාසල්, උද්‍යාන , ක්‍රීඩා සංකීර්ණ, විනෝදාස්වාදය පිණිස අවශ්‍ය දෑ නිර්මාණය කර ගත යුතුය. මෙම ජනාවාස ප්‍රදේශ හොඳින් පෙර කී වෙළෙඳ නගර හා කාර්මික කලාප සමග සම්බන්ධ විය යුතුය.
මෙම සැළසුම ද අපගේ ඉහත කී Blueprint එකේම සළකුණු කර සිතියම් ගත කර ගනු ලැබේ. අපි දැන් තුන් වන කාරණය සළකා බලමු.
- කෘෂි බිම් හෙවත් Agricultural lands
ශ්‍රි ලංකාව කෘෂි කාර්මික රටක් යැයි හැඳින්විය හැකි වුව ද ලෝකයට සාපේක්ෂව අප කෘෂි කර්මාන්තයෙන්, කර්මාන්තයක් ලෙස බොහෝ පසු ගාමීය. හොද්දයි බතයි කන රටේ අපිට අවශ්‍ය ආහාර සියල්ලම පාහේ මෙහි නිශ්පාදන කර ගැනීමට අපට තිබෙන මේ ඉඩම් ප්‍රමාණය සැහෙන්නේ ය. විශේෂයෙන් ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම පාදක කරගෙන ජනගහනයට සෑහෙන අහාර නිශ්පාදන කර ගැනීමට අපට හැකි විය යුතුය. එබැවින් කෘෂි කාර්මික බිම් වෙන්කර ගැනීමේදී ආහාර සුරක්ෂිතභාවය යන සාධකය සැළකිල්ලට ගෙන එය විද්‍යාත්මකව සිදු කල යුත්තකි.
අප සතු මූලිකම ගැටලුවක් නම් ඉඩම් කැඩී යාමය. පරම්පරාවෙන් පරම්පරාවට ගොඩමඩ කෘෂි ඉඩම් කැඩී යාම නිසා ගොවි බිම් ක්‍රමයෙන් කුඩා වෙයි. එම කුඩා බිම් වලින් පවුලක් රැකීමට තරම් අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීම නිසා ගොවි තැනින් ජීවනාලිය සරි කර ගැනීමට ගොවියනට නොහැකිය. එබැවින් ඔවුන් ක්‍රමයෙන් ගොවි තැනින් ඈත් වෙයි, එසේත් නැත්නම් කැලෑ එළි පෙහෙලි කර වගා කරයි.
එලෙසම කෘෂි වගාවන් ඉතා පහසුවෙන් වඩා කාර්‍යක්ෂමව යන්ත්‍රානුසාරයෙන් කල හැකි වූවත් කුඩා වගා ඉඩම් වලට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ප්‍රායෝගික නොවේ. එබැවින් ගොවි කමට තාක්ෂණය ලෝකයේ අන් රටවල දී මෙන් කාර්‍යක්ෂමව යොදා ගැනීමක් අප රට තුල නොමැතිය. මේවාට විසඳුම් පහත ලෙස සරළව විස්තර කරමි.
අනාගතයේදී අපගේ ආර්ථික උපාය මාර්ග වලට අනුව ශ්‍රි ලංකාව තුල කාර්මික නගර හා කලාප ඇතිවී ජනතාව නව නගර ආශ්‍රිතව ජීවත් වීමට යොමුවන නිසා ඔවුන් ගොවි බිම් වල දිගින් දිගටම සිටිමින් ගොවි තැනේ නිරත නොවනු ඇත. ගොවි තැනින් පවුලක් නඩත්තු කර ගැනීමට අපහසු වීමත්, ඉඩම් කුඩා වීමත්, නව ජනාවාස තුල හොඳ ජීවිතයක් ලැබීමත්, අලුත් කාර්මික ප්‍රදේශ තුල හොඳ වැටුපක් ලැබෙන රැකියා තිබීමත් නිසා ඔවුන් ක්‍රමයෙන් අලුත් ජනාවාස වෙත රොක් වනු ඇත. එබැවින් එම කැඩී ගිය කෘෂි ඉඩම් නැවත එකතු කර විශාල ප්‍රමාණයේ ගොවි බිම් සෑදීමට අප ක්‍රම සම්පාදනය කල යුතුය. නිතී, ආකල්ප මෙන්ම රාජ්‍ය පරිපාලනය ද ඒ වෙනුවෙන් හැසිරිය යුතුය. විශාල ගොවි බිම් ද ඒවායේ නූතන තාක්ෂණය භාවිතයද වෘත්තීය ගොවීන් බිහි කරනු ඇත. ඒ සමගම රටට අවශ්‍ය අහාර වඩා ක්‍රමවේදීව සෞභාග්‍යමත් ලෙස සාදවා ගැනීමට අපට හැකි වනු ඇත.
- වනාන්තර සහ ස්වභාවික භූමි
ඉහතින් කී සියළු කලාප නිර්මාණය විය යුත්තේ රටේ දැනට පවතින වනාන්තර සහ ස්වභාවික භූමි ආරක්ෂා වන අයුරින් ය. එලෙසම දැනට වන ගහණය වන ලංකාවේ භූමියෙන් 29% ක් වෙනුවට එය 45% ක් වත් පමණ වනතුරු අප වැඩි කර ගත යුත්තේ අනාගතයේ දී අපටම හොඳ ගුණාත්මක ජීවිතයක් උරුම කර ගැනීමට ය. පිරිසිදු වාතය, ජල සුරක්ෂිත භාවය, හා ගෝලීය උණුසුම ඉහළයාම ආදියට අනුරූපව අප රට තුල කෙතරම් වනාන්තර ප්‍රමාණයක් පැවතිය යුතු දැයි අපහට විද්‍යාත්මකව ගණනය කර ගත හැකිය. එම අගය 40-50% ක් පමණ වන අගයක් වීමට බොහෝ දුරට නියමිතය. එබැවින් රටේ දිගුකාලීන තිරසාර පැවැත්ම තහවුරු කිරීමට අප මෙම ස්වභාවික භූමීන් වෙන්කර ආරක්ෂා කර ගත යුතුය. එය කෙසේ කල යුතු දැයි මම ඔබට කියන්නම්.
වන්නි හත්පත්තුවේ , විල්පත්තුවේ සිට යාල , පානම්පත්තුවට කරදයක් නැතුව සතුන්ට ගමන් කිරීමට හැකි වන පරිදි අපි වනාන්තර ජාල කොරිඩෝවක් ඇති කල යුතුය. මෙය මා Pan Island Wildlife Corridor Network එක් යැයි හදුන්වන්නම්. රටේ සියළුම ස්වභාවික වනාන්තර ජාලයක් සේ එකින් එක සම්බන්ධ වන පුළුල් කොරිඩෝ සහිතව මෙම PIWCN එක අපට පහසුවෙන් නිර්මාණය කර ගත හැකිය. මිනිසා විසින් මෑතකදී එලිපෙහෙළි කර වනාන්තර හා අලුත් Blueprint එකෙන් අත හැරෙන භූමීන් එක් කල විට මෙම වනාන්තර ජාලය ඔබට නිර්මාණය කිරීම පහසුවෙන් කල හැකිය. අලි මිනිස් ගැටුම එතනින්ම අහවර වන අතර අලින් අතර පවා හොඳින් ජාන මිශ්‍ර වීමට අවස්ථාව සැලසීම ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පැවැත්මට පවා වාසි දායකය. රටේ ජල සුරක්ෂිතභාවය , පිරිසිදු වාතය , කාලගුණික විපර්යාස වලට ඔරොත්තු දීම ආදිය මින් පහසු වන අතර එය ශ්‍රි ලාංකීය ජාතියේ පැවැත්ම දිගු කාලයකට තහවුරු කරනු ඇත. සෞභාග්‍යයෙන් පිරි කාර්මික නගර වෙත මිනිසුන් රැස් වන නිසා ඔවුන් වනාන්තර වලින් ලාභ ප්‍රයෝජන සොයා කැලෑ කපමින්, ඉඩම් අල්ලමින්, සතුන් දඩයම් කරමින් කැලෑ නොවදිනු ඇත.
මෙලෙස සමස්ථ රටෙහිම ඉඩම් වර්ග කර Blueprint එකක් සාදා ගත් විට ඉතුරු සියල්ල ඔබට පහසුවෙන් පෙනෙන්නට ගනීවී. මේ කාර්‍යයට අප වසරක් හෝ දෙකක් ගත කල යුතුය. එය නිවැරැදිව සැලසුම් කර ගැනීමට උපරිම උත්සහ ගන්න. මෙම සැලසුම අනුව ගමන් කිරීමට අපට සෑහෙන කාලයක් යාවි. මෙම සම්පූර්ණ වීමට අපට වසර 30 ක් වත් මහන්සි වෙන්න වෙයි.
අපට මේ වෙනුවෙන් මූලික අඩිතාලම දැමිය හැකිය. මේ සැලැස්ම හදන්න; එය ජනගත කරන්න; වසර 5 න් 5 ට වත් මේ සැලැස්ම අලුත් තොරතුරු , ආර්ථික උපාය මාර්ග , තාක්ෂණික දැනුම ආදියෙන් යාවත්කාලීන කරන්න අවකාශය තබා ගත යුතුය. මේ අප රට හදන සැකිල්ලය. අප වසර 5 න් හෝ 10 න් බලයෙන් ඉවත් උව ද , අනතුරුව මිය ගිය ද රටට හඹා යෑමට සැලැස්මක් තිබෙයි. එය පුද්ගලයෙකු මත නොව ප්‍රතිපත්ති මත ගොඩනැගුණු රටේ පොදු අනාගතය තීරණය කරන ලියවිල්ල කර ගත යුතුය.
එය සකසා අවසන් වූ විට, අප වැඩ පටන් ගත යුතුය. රටේ ආර්ථිකය හදන්න පටන් ගත යුතුය. ඒ වෙනුවෙන් සිදුකරන සියළුම ගොඩ නැගීම් මේ දිගුකාලීන සැලැස්ම අනුව ඉදි කල යුතුය. මිනිස්සු අපව විශ්වාස කරාවි. අපට පුලුවන්.
රට ගොඩනගන මූලික සැලැස්මක් , ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර රටේ සියළුම විභවයන් ඒ වෙනුවෙන් දිශා ගත කිරීමට හැකිනම්, අපට ඉලක්කයක් ඇත. එය වසර 30 ක මූලික සැළසුමක් අනුව ක්‍රියාත්මක වෙයි. මුළු ජාතියම මේ වෙනුවෙන් ඉලක්ක ගත කර ගනිමින් රටේ සම්පත් තිරසාර ලෙස සංවර්ධනයට යොදා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙයි.
එම ක්‍රියාවලිය, නිසියාකාර ආර්ථික හැසිරවීම , හා නිර්මාණශීලීත්වය තුලින් රටට සෞභාග්‍යය උදාකරගත හැකිවනු ඇත.